සිස්ටම් එක අපිටද?

අත්‍යවශ්‍ය ප්‍රතිරෝධය

මහින්ද වෙනුවට සරත් ඉල්ලන කෝලම

with 4 comments

(කසිප්පු ගංජා චක්‍රවර්තීට අනුව) සත්වන මහින්දෝත්තමයාණන්ගේ අග සෙනවි දැන් රජාණන්ට එරෙහිව සටනට පැමිණ ඇත. එතෙක් පාලකයින්ට හා (කොහේදෝ ඇති කර ගත් මුග්ධ තීරණයක් නිසා) සාමාන්‍ය ජනතාවට හිසරදයක්ව තිබූ කොටි සංවිධානය සමූලඝාතනය කිරීම තමාගේ තනි අයිතියක් බවට පත් කර ගැනීමට දැන් දෙපැත්තම පොර කමින් සිටිති. පෙර පරිදිම නරා වලේ නටමින් රටම උන්මාදයකට තල්ලු කරමින් සිටිති. මේ සියල්ල අතර එකිනෙකාගේ රෙදි ගැලවීමට ගොස් තම තමන්ගේ යට ඇඳුම් පවා අහිමි කර ගනිමින් සිටිති.

යුද්ධයේ අවසාන ප්‍රථිපලය සාධනීය බව සැකයක් නොමැත. වර්ගවාදයම තම මූලික දර්ශනය කොටගත් පිරිසක්, බහුතර සිංහල පාලකයින්ගේ අමන පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමට උපකාර කරමින් සිටීම එතෙක් කාලයක් සිදු වූ දෙයයි. ජනතාවට සැමදා යුද්ධයේ රඟ පෙන්වමින්, කාලයෙන් කාලයට දුප්පත් කොල්ලන් කෙල්ලන් මරු පල්ලට යවමින් විකාර රූපී වීර නාටකයක් ජනයා ඉදිරියේ රඟ දැක්වීමට උපකාර කල ප්‍රධාන සාධකය කොටි සංවිධානයයි. මහින්ද පෙර පාලකයින්ගෙන් වෙන් වුයේ යුද්ධය නැමැති ආයුදය භාවිතා කල ආකාරයට මිස, සෙසු ජනයාගේ දියුණුව පිළිබඳ දැරූ ආකල්ප නිසා නොවේ. අන් සියළු දේ අතහැර යුද්ධය පමණක් තම ජීවිතය කර ගත් රටක එය නිවාලීමෙන් ජනප්‍රිය වී‍මේ ඉඩ ප්‍රස්ථාව දක්ෂ ලෙස ප්‍රයෝජනයට ගැනීමට මහින්ද සමත් විය.

මෙම ක්‍රියාදාමයේදී රටේ ඉදිරි පැවැත්ම පිළිබඳ ඇති කර තිබෙන ආකල්ප ඉතාමත් හානිකර ය.

  • දෙමළා සමඟ සමගියක් ගැන එලිපිට කතා කලත් සිත තුල ඔවුන් මහ ජාතියට යටත් විය යුතු ය යන්න තරයේ බහුතරයක් විශ්වාස කරති.
  • බෞද්ධාගම මතම රාජ්‍යයක් පැවතියි යුතු බව බහුතර මතයක් බවට පත් කර ඇත.
  • අන්තර්ජාතිකව කුමණ්ත්‍රණ තියරි (අනෙකා) නිර්මාණය කර, රටේ ඇති සියළු ගැටළු වලට මූලය ලෙස එම අනෙකා භාවිතා කිරීමට හුරු කර ඇත.
  • දූෂණය හා වංචාව සාධාරණීකරණය කිරීමට තරම් උද්ධච්ච නිර්භීත කමකට අද පාලකයින් පැමිණ ඇත.
  • පාතාලයින් යැයි හඳුන්වා දෙනු ලබන පුද්ගලයින් නඩු විභාග වලින් තොරව මහමග මරා දැමීම සාධාරණීකරණය කර ඇත.
  • පීඩිත කුමන හෝ ජන කොට්ඨාශයක් වෙනුවෙන් කතා කලහොත් දේශද්‍රොහියෙකු බවට ඉබේම පත්වන තැනට කටයුතු සලසා ඇත.
  • එම දේශද්‍රෝහීන්ට ඉහත සඳහන් පාතාල සාමාජික තත්වය පවරා ඒ ආකාරයෙන්ම මහමග මරා දැමීම සාධාරණීකරණය වී හමාරය.

මෙම කරුණු කාරණා සිදුවන විට මීට විරුද්ධ වූවෝද බොහෝ සෙයින් වූ නමුත් පීඩනයේ එක් එක් ආකාර වලින් එම විරෝධතා යටපත් කර දැමීමට පාලකයින් සමත් වී තිබිණ. ‍දැන් ජනාධිපතිවරණය අත ළඟට පැමිණ ඇත. පෙර තිබූ විරෝධයද පාලයෙන් තොරව උත්සන්න වී ඇත. නමුත් මෙම විරෝධයේ ප්‍රධානියා කවුද?

හිටපු ජෙනරාල් වරයෙකු වන, කොටි සමූලඝාතනයේ යුධමය අංශය මෙහෙයවූ, සරත් ෆොන්සේකා මෙම විරෝධය මෙහෙයවමින් සිටී. මෙතෙක් කල් මහින්දගේ නුගුණ පෙන්වූ අය දැන් ජෙනරාල් එම සියළු දේට විසඳුම ලෙස පෙන්වා දෙති.

අප හට තේරුම් ගත නොහැක්කේ මෙයයි. මෙතෙක් කල් මහින්ද සමග එකම බෝට්ටුවේ සිටි අයෙකු දුෂණ වංචා නැති කරන්නේ කෙසේද? යුද්ධයේදී දෙමළ ජනයා පිළිබඳ අබ ඇටයකුදු නොතැකූ අයෙක් ජාතික සමගිය ඇති කරවන්‍නේ කෙසේද? ශ්‍රී ලංකාව වැනි ර‍ටක ජෙනරාල්වරයෙකු නිදහස් නිවහල් රාජ්‍යයක් ලබා දෙන්නේ කෙසේද? ලක්ෂ ගණනක පිරිසකට විරෝධයකින් තොර වූ අණ ලබාදී පුරුදු අයෙකු අන්මත ඉවසන ප්‍රජාතාන්ත්‍රික නායකයෙකු වේ යැයි බලාපොරොත්තු විය හැකි ද? විධායක බලතල ඔහු අත හරී යයි හිරිකිතයක් නොමැති බලාපොරොත්තු විය හැකි ද?

අපේ මෙම සටහනේ අරමුණ මහින්ද වෙනුවෙන් ඡන්දය ලබා දීම සාධාරණීකරණයක් නොවේ. අප ඉතාමත් කැමැත්තෙන් සිටින්නේ මහින්ද හකුලා ගෙන ගෙදර යන දිනය පැමිණෙන තෙක්ය. එනමුත් යුද්ධය හමාර වූ පමණින් සියළු ගැටළු නොවිස‍‍දෙන්නාක් මෙන් මහින්ද ගෙදර ගිය පළියටම රටේ ගැටළු විසදෙන්නේ නැත. දූෂණය හා වංචාව පිටු දැකීමේ ඉක්මන් ක්‍රමයක් ලෙස අප දකින එකම දේ අධ්‍යාපනය ගුණාත්මක කිරීම මගින් බිහි කරනා උගතුන් රටේ පාලනය සඳහා යොමු කිරීම පමණකි. එයද දිගු කාලීන ප්‍රයත්නයක් ලෙස ගිණිය නොහැක්කේ රට තුල පවතින අසමතුලිත බව හා මධ්‍යගත බලතල වල ඇති දූෂක ලක්ෂණ නිසාය. ජාතික සමගිය සරත්ගෙන් බලාපොරොත්තු විය නොහැක. එය පැමිණිය යුත්තේ බුද්ධිමත් ජනතාවක් තුලින් පමණි.

සරත් බලයට පත් කිරීම සඳහා ඉදිරිපත් කල හැකි එකම සාධකය වන්නේ සුළුවෙන් හෝ තිබෙන්නා වූ දේශපාලන සාධාරණත්වය පවත්වා ගැනීමටය. රට පුරා රාජපක්ෂ පවුලෙන් අල්ලා ‍ගෙන යන මහා සැලසුම කණපිට පෙරළිමට පමණි. රටේ සියළු සම්පත් හා සේවා එක් රදළ පරම්පරාවක් අතට පත් වීම නැවැත්වීමට පමණකි. ඉන් එහාට සරත්ගෙන් අප බලාපොරොත්තු විය යුතු දෙයක් නොමැත.

මෙතෙක් කල් තිබු ප්‍රධාන අඩුපාඩුවක් වන ශක්තිමත් විපක්ෂයක් දැන් ගොඩ නැගී ඇත. සරත් ජයග්‍රහණය කලහොත් ඉන් පසුද විපක්ෂය ශක්තිමත්ව තිබේ යැයි අනුමාන කල හැක. එය දැන් අප හමුවේ තිබෙන ප්‍රධානතම ගැටළුවයි. එය නැවත සාමාන්‍යයට පැමිණි පසු අපට සුදුසු නායකයෙකු සෙවීම අප ආරම්භ කල යුතුය. ඒ අනිවාර්යයෙන්ම සරත් එම නායකයා නොවන බැවිනි.

ඉහත සඳහන් කර ඇති ආකල්ප නිරාකරණය කිරීම රටේ දියුණුවට අත්‍යවශ්‍ය කරුණකි. ඒ අප තෝරා පත් කර ගන්නා පාලකයින් හා අප අනුමත කරන ප්‍රතිපත්ති එම ආකල්ප මත රඳා පවතින බැවිනි. මහින්ද හෝ සරත් එම කර්තව්‍යය කිරීමට සුදුසු පුද්ගලයින් නොවේ. ඒ ඔවුන් දෙදෙනාම වැජඹෙන්නේ එම ආකල්ප මත නිසාය.

මේ සටහන යොමු කලේ මහින්දගේ පාලනය යටතේ තිබූ සියළු දුර්ගුණ දුරලීමට සරත් පත් කර ගන්න යැයි ඉල්ලා සිටින අමන රැල හා සරත් හෝ මහින්ද අප හට සශ්‍රීකත්වය ලඟා කර දෙන තෙක් කට ඇර බලා සිටින පුත්තලම් බූරු රැල වෙතටයි. සරත් දිනවිය යුතු බව සත්‍යය. නමුත් ඒ කුමක් සඳහාද යන්න අවබෝධ කර ගත යුතුය.

පුරුෂයා සහ වහලිය

with 25 comments

ඉතිහාසය පුරා ඉතා වෙහෙස මහන්සි වී රැක ගන්නා ලද පුරුෂාධිපත්‍යයට එරෙහිව නව ආර්ථිකමය පරාමිතීන් යටතේ නැගෙන ඊනියා ස්ත්‍රී විමුක්තිකාමී රැල්ල මැඩගෙන නැගී සිටීමට දුක්ඛිත ප්‍රයත්නයක් නූතන පුරුෂයින් විසින් දරනු ලැබේ. ගැහැණුන් ඇඳුම් ඇඳිය යුත්තේ දනිස්සේ කුමන ස්ථානයක වෙත ද, ක්ලීවේජය කෙතරම් දුර යා යුතු ද, යන්නෙන් නොනැවතී (පසුගිය දවසක බ්ලොග්කරුවෙකු විසින් කල පරිදි) ස්ත්‍රියක් ඇඳිය යුත්තේ කුමන යට ඇඳුම් වර්ග ද යන්නත් අර්ථ දැක්වීමට ද ඉදිරිපත් වීම නොයෙකුත් සමාජ පසුබිම් වල සමානවම දැකිය හැක.

බස් රියේදී හිර කලිසමක් ඇඟලා ගෙන ඇති කාන්තාවක් දුටු විට රාගාධික ඇස් ඇඟ පුරා යවනා පුරුෂයෝ ඉන්පසු ඇය දෙස අත් දිගු කර ඇය කෙතරම් අශීලාචාර දැයි සාකච්ඡා කරති. පන්සලට පැමිණෙන මිනිසුන්ගේ ප්‍රමාණය අඩු වන විට පොඩි ජාතියේ පබ්ලිසිටි ස්ටන්ට් එකක් කිරීමට ඉදිරිපත් වන ලොකු හාමුදුරුවන්ලා ආදරණීය දුවාලා පුතාලන්ට ළමා සාරි වල අගය කියා දෙති. ලිප්සිටික් තහනම් කරති. දවස පුරා අසභ්‍ය වෙබ් අඩවි මගින් ස්ත්‍රී ශරීරයට ඇති ආසාව සංසිඳවා ගන්නා අය බ්ලොග් අඩවි තුලින් යට ඇඳුම් විකුණන කොම්පැණි කාරයින්ට ගුටි බැට දීමට ඉදිරිපත් වෙති. ඒකාධිපති වීමට දඟලන පුරුෂ සමාජය එක් ශරීරාංගයක් වත් නිරාවරණය නොවි ඇති ස්ත්‍රිය සමාජය තුල පරමාදර්ශී ගැහැණිය බවට පත් කිරීමට උත්සහ ගනිමින් සිටී.

අතීතය පුරාම ස්ත්‍රිය පව්කාර වූවාය. බෞද්ධ ගාඩියන්ලා මෙය ක්‍රිස්තියානියට පැටවීමට උත්සහ කලත් බොහෝ ආගම් තුල ඇය පුරුෂයාට වඩා පහත් මට්ටමක සිටියාය. පුරුෂයාගේ ඉළ ඇටයක් වූවාය. පුරුෂයා පවෙහි වෙළීමට හේතු කාරකයක් වූවාය. ස්ත්‍රී ආත්මයක් ලැබීමට වඩා පුරුෂාත්මයක් ලැබීමට පින් කල යුතු විය. ස්ත්‍රියකට බුදු වීමට නොහැකි විය. ඇගේ නුවණ හැඳි මිටට වඩා මහත් නොවීය.රටවල් අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීම සඳහා හුවමාර කර ගන්නා භාණ්ඩයක් විය. සාහිත්‍යධරයින් ඈ කපට, කුමන්ත්‍රණකාරී, චපල ගතිගුණ ඇත්තියක කර වූවෝය. ඈ කලෙක ඡන්ද වරම අහිමිව සිටියාය.

මෙම තත්වයන් යටතේ පුරුෂාධිපත්‍ය ඉමහත් ලාභ ප්‍රයෝජන අත් විඳි අතර තවමත් ඒවා විඳිමින් සිටී. අද ද තරුණයෙකුට, තරුණියෙකුට වඩා ඉහළට ඉගෙන ගැනීමට ආයෝජනය කිරීමට පවුල් සංස්ථාව සූදානම්ය. පුරුෂයා අදහස් දැක්වීමේදී වැඩි පිළිගැනීමක් අත් විඳී. විවාහයකදී බොහෝ අවස්ථා වලදී පුරුෂයා වැඩි තෝරා ගැනීමේ නිදහසක් අත් විඳී.  ස්ත්‍රියකට තෝරා ගැනීමේ නිදහස අවමය. අධ්‍යාපනයේදී ස්ත්‍රිය වඩාත් දක්ෂ කට පාඩමට යැයි මතයක් ප්‍රචලිතව ඇත. මෙය ස්ත්‍රීන් විසින්ම බිඳ දැමීමට අලස මතයකි. දේශපාලනයේදී ස්ත්‍රී දායකත්වය අවධානයට හසු නොවේ. රෝසා ලක්සම්බර්ග්, ලෙනින් තරමට ජනප්‍රිය නැත්තේ එබැවිනි. වෙනකක් තබා කාන්තා විමුක්තිය යනු පුරුෂයා සිදු කරන සියළු දේ සිදු කිරීම යැයි අර්ථ දැක්වීම ද කලක දී සිදුවිය.

නව අර්ථ ක්‍රමයන් යටතේ නැගෙන ස්ත්‍රී විමුක්තිය සැබෑවක්දැයි අපි නොදනිමු. නමුත් එය නියත වශයෙන්ම පුරුෂ බැමි බිඳ හලා දමන්නේය. ස්ත්‍රිය ස්වයංතීරණ ගන්නා තත්වයකට උස් කර තබන්නේය. තව දුරටත් තවකෙකු යටතේ සිටීමට නොකැමැත්තක් ස්ත්‍රී සමාජය තුල ඇති කරන්නේය. සම්පූර්ණයෙන් නිදහස් වූ ස්ත්‍රියක් වෙත ළඟා වීමට මෙය කෙතරම් ඉවහල් වේ දැයි අප හට සැකයක් ඇත (සෑම දෙයක්ම විකිණිය හැකි තත්වයක් තුල විකාරරූපි ලෙස පැන නැගුණු එක් දෙයක් සාධනීය විය හැකි ද යන්න අපගේ සැකයට ලක්වේ). නමුත් පැවතුනු වහල් ක්‍රමයට වඩා මෙය සිය දහස් ගුණයකින් වටින්නේය.

ආපසු හැරී දුටුගැමුණු කාලයට දිව යෑමට දඟලනා ශ්‍රී ලාංකීය සමාජය තුල මෙම විමුක්ති රැල්ල කොතෙක් කල් පවතී දැයි සිතා ගත නොහැක. නිදහස් මතයක් දැරිය යුතු තරුණයින්ද විකාර අදහස් හිස් තුල ලා ගෙන සිටීම ධනාත්මක නොවේ. නව පරම්පරාව නව අදහස් නිපදවිය යුතු යුගයක අප රට තුල නව පරම්පරාව වැළලී ගිය හණමිටි අදහස් ගොඩ ගැනීමට උත්සහ දරති. සමස්ථ සමාජයක් ලෙස දියුණුව කරා යෑමට මෙම තත්වය ඉවහල් වේ ද යන්න අප මඳක් නැවතී සිතා බැලිය යුතු කාරණයකි.

Written by ත්‍රස්තවාදියා

December 1, 2009 at 12:05 pm

පීඩනෝන්මාතිත රාජ්‍යය

with 2 comments

paranoid-eye-is-watching-you

මහරජුටත් යුවරජුටත් එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලාංකික රජාණ්ඩුවේ අලව්ව නින්ද ගමින් මානවයෙකු රාජ පු(හ්)රුෂයින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සම්පූර්ණයෙන් රජ අණින් පිටත සිටින අධිකරණය විසින් අහවල් එකාගේ නීතිය යටතේ මොහු රිමාන්ඩ් භාරයට පත්කොට ඇත.

තමන්ට විරුද්ධ වචනයක් හෝ පිටවන විට සරම තෙමා ගන්නා රජයක් කෙතරම් බිය වී ඇත් ද?

තමන් රටේ රජු නොව භාරකාරයා යැයි රැවුල අඹරමින් ආඩම්බරයෙන් දෙසා බාන ජනාධිපතිවරයෙකුට බිය වීමට ඇත්තේ කුමක් නිසා ද?

විරුද්ධ පක්ෂ වලට දුවන්නට දෙන මන්ත්‍රී පිරිසක් සිටින විට ජනතාවට මෙතරම් බිය වීමට වුවමනා ද?

මුග්ධ ජනතාවකට නොතේරුනාට පාලක පිරිසට මැනවින් තේරුම් යන පොදු ජන විරෝධය මෙතරම් බලවත් ද?

සමහර විට මෙය සුභ ලකුණක් විය හැකිය. මෙතෙක් කල් රජයට බිය වූ ජනතාවක් වෙනුවට ජනතාවට බිය වෙන රජයක් ඇති වෙමින් පවතිනවා විය හැකිය.

Written by ත්‍රස්තවාදියා

November 2, 2009 at 8:30 pm

අධ්‍යාපන කප්පාදුව හා රාජ්‍ය පවත්වාගෙන යාම – 2

with one comment

අධ්‍යාපනයේ ගුණාත්මක භාවය හා විරැකියාව අතර පැහැදිලි සම්බන්ධතාවයක් අපි පසුගිය සටහනේදී ගොඩනගා ගත්තෙමු. විරැකියාව රටක රාජ්‍යය පවත්වාගෙන යාමට අහිතකර බව අප සාමාන්‍යයෙන් විශ්වාස කරමු. විරැකියාව හමුවේ මිනිසුන් කලබල වන බවත් එය රජයේ ඡන්ද ප්‍රමාණයට බලපාන බවත් සාමාන්‍ය මතයයි.

uneducatedරටක හමුදාව යනු එම රටේ රාජ්‍යය ආරක්ෂා කිරීමට ඇති යාන්ත්‍රණයයි. එය ඇත්තේ වැසියන් ආරක්ෂා කිරීමට නොව පවතින රාජ්‍යයට එල්ලවන මොනයම් හෝ බලපෑමකට මිලිටරිමය වශයෙන් මුහුණ දීමටය. මෙම රාජ්‍යය ආරක්ෂා කරන ක්‍රියාවලියේදී බොහෝ වේලාවලදී හමුදාවේ අවි එල්ල වන්නේ එම රටේම වැසියන්ටය. මෑත කාල වලදී සිදු වූ නොයෙකුත් කැරලි ඉතාමත් තදින් මර්ධනය කිරීම සිදු වූයේ මිලිටරිමය ලෙස හමුදාව අතිනි. අප සැමදා පවසන ආකාරයට මිලිටරිමය මර්ධනයක් කිසිම දිනක එම නැගිටීමේ මූලය විනාශ නොකරන අතර මූලය අළු යට ගිනි මෙන් සැඟව පවතී. නිසි කල් එළඹුණු පසුව නැවත ගිනි සිළුවක් ඇති වන්නේ කාලාන්තරයක් තිස්සේ සමාජය තුල පවතින මෙම ගිනි පුපුරු තුළින්ය.

හමුදාව සමන්විත වන්නේ දේශප්‍රේමීන්ගෙන් (මෙකල ඇවිදින බකමූණන් බවට පත්ව ඇති ජෝකර්වරුන් නොව දේශයට ආලයක් ඇති වුන්) බවට යමෙකු තර්ක කල හැක. නමුත් අප පවසන්නේ ඔවුන්ට හමුදාවේ සාමාන්‍ය සෙබල සිට නිල කිහිපයක් ඉහළ යන තෙක් සිටින්නන්ගේ ආර්ථික තත්වය පරීක්ෂා කර බලන ලෙසයි. ඔවුන්ගෙ තර්කය නිවැරදි නම් රටේ යම් පමණකටවත් ආර්ථික තත්වයක් ඇති වුන් හට දේශප්‍රේමයක් නොමැත. නමුත් සත්‍යයනම් හමුදාවේ දිවි පිදීමට එන්නේ “හරි හමන්” රැකියාවක් නොමැති වූ විට බවයි. පසුගිය කාලයේදී රාජ්‍ය මාධ්‍ය හා ඊමේල් මගින් සංසරණය කරවා ප්‍රසිද්ධ කරවු මිය ගිය හමුදා භටයින් බහුතරයකගේ නිවෙස් දැනටත් කුලී නිවෙස්ය. යූටියුබ්, බ්ලොග් අඩවි තුළ මොවුන්ට දෙවියන් මෙන් සැලකූ කිසිවෙකු මොවුන්ගේ පවුලක දුක සැප විමසීමට ගොස් ඇත්දැයි සැක ඇති වේ. කියවන්නා මැනවින් අවබෝධ කර ගත යුත්තේ හමුදාවන් තුල සිටින සෑම අයෙකුම එහි සිටින්නේ ආර්ථිකමය හේතු නිසා යන්න මෙයින් පැවසෙන්නේ නැති බවයි. අප කියා සිටින්නේ හමුදාවේ බහුතරය රට වෙනුවෙන් දිවි පිදීමට සූදානම් නැති බවයි.

කරුණ කෙසේ වෙතත් නිසි රැකියාවක් ලැබීමට සුදුසු අයෙකු හමුදාවන්ට ඇතුළු වීම විරල අවස්ථාවකි. ඇතුළු වුවත් එසේ ඇතුළු වන්නේ ඉහළ නිළ තල සඳහාය. මේ කරුණත් අප කලින් සටහනින් මතු කල කරුණුත් එකතු වන්නේ කුමටද?

රටක අධ්‍යාපනය වඩාත් යහපත් වූ විට හමුදාවන් හි රැකියා සඳහා පැමිණෙන තරුණ තරුණියන් ප්‍රමාණය අඩුවේ. අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පාලනයක් සහිතව රජය පවත්වාගෙන යන්නේ එම නිසාය. වැඩි ගුණාත්මක භාවය රටේ ජනතාව බුද්ධිමතුන් බවට පත්කරන අතර එමගින් රාජ්‍ය කටයුතු ප්‍රශ්න කිරීමද ඉහළ යයි. ජනතාව මෝඩයින් කර තබා ගත් තරමටම ප්‍රශ්න කිරීම් අවම වන අතර එවැනි ප්‍රශ්න කරන්නන්ව පිළිකෙව් කිරීමද ජනතාව ලවාම කර ගත හැක. ජාතිවාදය, ගෝත්‍ර ගති පැවතුම් ආදී මෙරට දැන් විද්‍යාමාන වන සියළු අවලක්ෂණයක්ම මෙම චේතාන්විතව සිදු කර ඇති මෝඩ කමේ ප්‍රථිපලයි. මහින්ද රජයේ බර දරා ඇති එක බල කණුවක් වන්නේ ජාති වාදයයි. ජාතිවාදය නැති වී සියළු ජාතීන් අනෙකුන් ගැන සිතන්නට පටන් ගත් දිනට මහින්ද අළුත් සින්දුවක් සොයා ගත යුතුය.

70 දශකයේ සිට මෙරට දැඩි අධ්‍යාපන කප්පාදුවක් සිදුවන අතර ජනතාව එයට අසංවේදීව ඔහේ බලා සිටිති. මෙය එක් පක්ෂයක හෝ රජයක සැලසුමක් නොව සිරිමාවෝ, ජේ.ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා හරහා දැන් මහින්ද සිදු කරමින් යන පොදුවේ පාලක පන්තිය ආරක්ෂා කර ගැනීමේ දීර්ඝ කාලීන සැලැස්මේ එක් කොටසකි. Without a well informed society democracy sieze to exist යනුවෙන් පැවසී ඇත. දැන් පවතින සමාජය ඇත්තේ well-informed යන තත්වයටත් ඉතා පහළය. ඒ කියා දෙනු ලබන දේ හෝ තේරුම් ගැනීමට ඇති හැකියාවක් නොමැති තත්වයකි.

Written by ත්‍රස්තවාදියා

September 7, 2009 at 12:09 pm

අධ්‍යාපන කප්පාදුව හා රාජ්‍ය පවත්වාගෙන යාම

with 2 comments

ශ්‍රී ලංකාව සාක්ෂරතාවය අතින් සැලකිය යුතු මට්ටමකින් ඉහළ ඇතැයි යන්න සාමාන්‍යයෙන් අප නැවත නැවත පාරම්බාන පුරාජේරුවකි. සංඛ්‍යාලේඛන වලට අනුව එම මට්ටම ජනගහනයෙන් 92%ක පමණ ස්ථානයක පවතී. දකුණු ආසියාවේ සාක්ෂරතාවයෙන් ඉහළම ස්ථානය අප ලබා ගන්නා අතර ආසියාවේද ලැයිස්තුවේ ඉහළම රටවල් කිහිපයට අයත් වේ. ඉතින් එම පද්ධතියට එරෙහිව ලිපියක් ආරම්භ කරන්නේ කුමටද? එක් අතකින් මෙම ලිපිය පද්ධතිය පෙරළා දැමීමකට වඩා පවතින පද්ධතියම යහපත් කිරීමට ඉවහල් විය හැක.

“අපිට බය වෙන්න දෙයක් නෑ, අපි උගත්!” කියමින් සැප පුටුවේ හාන්සි වීමට පෙර සිතා බැලිය යුතු එක් කරුණක් වේ. ඒ මෙම සාක්ෂරතාවය අර්ථ දක්වන ආකාරය පිළිබඳවයි. සාමාන්‍යයෙන් එය යම් කිසි වයස් සීමාවකදී ලිවීමට හා කියවීමට ඇති හැකියාව ලෙස ගෙන දක්වනු ලැබේ. ශ්‍රී ලංකාවේ මෙම වයස් සීමාව අවුරුදු 15 ලෙස ගනු ලැබේ. මෙය මෑතකදී දුටු මූලාශ්‍රයකින් ගත් අර්ථ දැක්වීමක් වන අතර ඉන්පසු මෙම වයස් සීමාව වෙනසකට භාජනය වූවා ද යන්න දැනට නොදන්නා කරුණකි. එම නිසා අපි මෙම අර්ථ දැක්වීම ගෙන එතැනින් ආරම්භ කරමු.

ලිවීමේ කියවීමේ හැකියාව අතින් අප සතුටුදායක තත්වයක සිටින බවට වාදයක් නැත. නිදහස් අධ්‍යාපන ක්‍රමය අනුගමනය කරමින් ඉතාමත් පිටිසර ගමට පවා රජයේ පාසැලක්, එක් අසතුටුදායක ගුරුවරයෙක්/ගුරුවරියක් පමණක් සිටියත්, ලබා දී ඇති නිසා කියවීමට නොදන්නා පරපුරක් පිළිබඳඅප බිය විය යුතු නැත. නමුත් ජීවත් වීමට මුදල් අවශ්‍යව ඇති අර්ථ ක්‍රමයක සෑම පුද්ගලයෙකුටම රැකියාවක නිරත වීම අනිවාර්‍ය වේ. අප ලබන ප්‍රාථමික අධ්‍යාපනයත්, ද්වීතීයක අධ්‍යාපනයත් රැකියා ඉලක්ක කරමින්, රැකියා කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන් ප්‍රධාන වශයෙන් කැපවිය යුතුය. තෘතීයික අධ්‍යාපනය රටක දැනුම් සම්භාරය වර්ධනය කිරීම සඳහා කැපවිය යුතු අතර දැනුම අළුතින් නිපදවීම එහි ප්‍රධාන අරමුණ විය යුතුය.

දැන් ඔබ දන්නා සාක්ෂරතාවයෙන් තෘතීයික අධ්‍යාපයකින් තොරව (අවුරුදු 15 දී තෘතීයික අධ්‍යාපනයක් ලැබීම විරලව සිදු වන්නකි) සාමාන්‍ය සැප පහසුකම් සහිතව පවුලක් නඩත්තු කර ගැනීමට සුදුසු වේතනයක් ලැබෙන රැකියාවක් ලබා ගත හැකිද?

මෙහිදී යමෙකුට තෝරා ගැනීමට විකල්ප දෙකක් ඇත.

  1. උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුළු වීම
  2. පෞද්ගලික විශ්ව විද්‍යාල හෝ වෙනත් මාර්ග වලින් උසස් අධ්‍යාපනයක් ලබා ගැනීම

රජයේ විශ්ව විද්‍යාල වලින් ඉතා අඩු මුදලකින් හෝ මුදල් ගෙවීමකින් තොරව සැලකිය යුතු ප්‍රමාණයක උසස් අධ්‍යාපනයක් ලබා ගත හැකිය. නමුත් රජය ඉදිරිපත් කරන හා නොකරන නොයෙකුත් හේතු නිසා රජයේ විශ්ව විද්‍යාලවලට ඔවුන් අර්ථ දක්වා ඇති පරාමිතීන් සම්පූර්ණ කල සිසුන්ට පවා ඇතුළු වීම මහත් තරඟයක් වී ඇත. සමස්ථ වශයෙන් සුදුසුකම් සපුරාලූ සිසුන්ගෙන් උඩින්ම සිටිනා 12%ක ප්‍රමාණයක් පමණක් සරසවියට ඇතුළු වන අතර අනෙකුත සිසුන්ට සුදුසුකම් තිබියදීත් වෙනත් විකල්ප කරා යොමු වීමට සිදු වී ඇත.මෙම වෙනත් විකල්ප ඉතාමත් මිල අධික වන අතර 22%ක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන රටක එවැනි විකල්ප තෝරා ගැනීමට ඇති ශක්‍යතාවය පිළිබඳ බලවත් සැක පහළ වේ.

ඉහත සියළු දේ එක්තැන් වන විට රටක් තුල ඇති විරැකියාව එහි අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අනුව විචල්‍ය වන බව පැහැදිලි වේ. පවතින අර්ථ දැක්වීම් වලට අනුව වටිනා රැකියාවක් සොයා ගැනීමට උසස් අධ්‍යාපනය අත්‍යවශ්‍ය වේ. ඒ එහි ගුණාත්මක භාවයක් නිසා නොව ඉන් පහළ අධ්‍යාපනයක් සේවා යෝජකයින් පිළිගැනීමට සූදානම් නොමැති නිසා වේ. අනතුරුව උසස් අධ්‍යාපනයේ ප්‍රධාන කාර්‍ය වන දැනුම නිපදවීම අඩු ප්‍රමුඛතාවයකට වැටී දැනුම නැවත බෙදා හැරීමේ මධ්‍යස්ථානයකට පමණක් එය ශූන්‍ය වේ.

අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අප රට තුළ මෙතරම් අඩු මට්ටමක ඇත්තේ ඇයි?

රාජ්‍යය නැමැති ගණිකාව

with one comment

සත්ව පරිණාමයේ එක අවස්ථාවකදී රංචු ගැසී සිටි සත්වයන් තමන්ගේ රංචුව රැක බලා ගැනීම, මග පෙන්වීම ආදී කටයුතු සඳහා වගකීම පැවරිය හැකි එක් එයෙකු අවශ්‍ය බව තේරුම් ගත්හ. ඒ අනුව හැඩ ගැසී ආ නායකයා යන සංකල්පය තවමත් මිනිසුන් අතර ද පවතී. පුරාණයේ රංචුව රැක බලා ගැනීම කල නායකයා වෙනුවට අද ආණ්ඩුවක්ඇත. එක් එක් නායකත්ව මොඩල භාවිතා කර බලා ඇති මිනිස් ප්‍රජාව අද වන විට ප්‍රජාතාන්ත්‍රවාදයට වඩා ඇළුම් කරයි. ඒ ප්‍රජාතාන්ත්‍රවාදී ක්‍රමයක් තුල තනි පුද්ගලයාට ඇති ඡන්ද අයිතිය හේතු කොට ගෙනය. බහුතර මතය අනුව ඡන්දය යනු ප්‍රජාතාන්ත්‍රවාදයේදී පුද්ගලයාට ඇති පරම අයිතිය වන අතර එමගින් ඔහුට අවශ්‍ය නායකයෙකු පත් කර ගැනීමට අවස්ථාව උදා වේ. අවාසනාවකට ප්‍රජාතාන්ත්‍රවාදය යන තක්කඩි ක්‍රමය තුල ඡන්දයට, බාබර් සාප්පුවෙන් ලබා දෙන සීනි බෝල ටොපියකට ඇති වටිනාකමට වඩා වූ විශේෂ වටිනාකමක් නැත.

ප්‍රජාතන්ත්‍රවාදය යනු නවීන වැඩවසම් ක්‍රමය තුල එක් ගුණ්ඩුවක් පමණි. ජනතාවට බොරු අයිතිවාසිකමක් පෙන්වා දී ඇති එහි තෝරා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇත්තේ එකම අච්චුවේ පාලකයින්ය. එක් හොරෙක් හෝ හෙරක් අතහැර දමා තවත් හොරෙක් හෝ හෙරක් තෝරා ගැනීමට අපට සිදු වී ඇත. මෙය වඩාත්ම පැහැදිලි වූ අවස්ථාවක් වූයේ පසුගිය පළාත් සභා මැතිවරණයි. අලුතින් කවුරුන් හෝ පත්වන විට වෙනසක බලාපොරොත්තුවක් ජනතාවට ලබා දෙන අතර කල් ගත වන විට වෙනසක් ඇත්තේ උනුන්ගේ අත් අකුරු වල පමණක් බව ඡන්දදායකයින්ටම පසක් වේ.

රාජ්‍ය යනු අප බහුතරය(යම් තරමකට බුද්ධිමත් බහුතරය. මහ රජාණන් වඳින බහුතරය නොවේ) සිතා සිටින ආකාරයට ජනතාවට සේවය කරන යාන්ත්‍රණයක් නොවේ. නිර්භීතව පවසන්නේ නම් රාජ්‍ය සේවය කරන්නේ රාජ්‍ය බලයට පත්වීමට උපකාර කල කොටස් වලට පමණි. පළමුව බැලීමේ දී මෙම ප්‍රකාශය යම් තරමකට හුරු ලෙස පෙනුනත් අප බොහෝ දෙනා එය පිළිබඳ වැඩි දුර සිතා නොබලති.

පාඩු පිට පාඩු ලබන මිහින් එයාර් ජාතකය, හෙජින් ගනුදෙනු ජාතකය යනාදී සිද්ධීන් වල වාසිය ජනතාවට නොව ව්‍යාපාරිකයින්ට හා හිතවතුන් අතලොස්සකට අයත් වේ. ජනතාවට සිදු වන්නේ දංකුඩ කෑමටයි. මෙවැනි සිද්ධීන් ප්‍රසිද්ධියට පත් වන අතර ජනතාවට ඒවා කාලය ගැට ගසා ගැනීමට අවශ්‍ය බයිට් පමණි. උදාහරණයක් ලෙස මිහින් එයාර් අධිපති තමාගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා පෞද්ගලික මුදලින් ගත නොහැකි තරමේ හෙලිකොප්ටරයක් මිලදී ගත් බව සැම දෙනා දනිති. නමුත් ත්‍රස්තවාදය පැරදවූ මහා රජාණන් මෙවැන්නන්ට දඬුවම් නොදෙන්නේ ඇයි ද යන ප්‍රශ්නය නැඟීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවේ.

යමෙක් මෙය පාක්ෂකයින්ට සැලකීම යන කාරණයට සිල්ලර කිරීමට උත්සහ දැරිය හැක. නමුත් ඔවුන් අවබෝධ කර ගත යුත්තේ මෙම ව්‍යාපාරිකයින් හා හිතවතුන් කොටස මහින්ද පාක්ෂිකයින් නොවන බවයි. පළමුවර කියවීමේදී මෙය මදක් අපැහැදිලි ලෙස පෙනෙන නිසා අප සමස්ත රාජ්‍ය සංස්ථාවම එක් පිරමීඩයක් ලෙස සිතමු.

පිරමිඩයේ පහළම සිටින්නේ අප, එසේත් නැත්නම් ජනතාවයි. අප සිතා සිටින ආකාරයට ජනතාව තට්ටුවට ඉහළින් ඇත්තේ රජයයි. නමුත් සත්‍ය වශයෙන්ම ජනතාව නොදකිත තවත් තට්ටුවක් රජයත් ඔවුනුත් අතර පවතී. මෙම තට්ටුවට ප්‍රධාන වශයෙන් අයත් වන්නේ ඉහළ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකි. ඔවුන් මුදල්මය බලය අතින් සමාජයේ ඉහළ පංතියයි. මොවුන්ට අවශ්‍ය වන්නේ සමාජය හැසිරවීමට අදාල නීතිමය බලයයි. දේශපාලකයින්ට අවශ්‍ය වන්නෙ නීතිමය බලයට පැමීණීමට අතදිග හැර වියදම් කිරීමට මුදල්මය බලයයි. මෙයින් ඇතිවන සහවක(symbiotic) සම්බන්ධතාවය ජනතාව නොදකින ලෙසට සකස් වී ඇත. දෙපාර්ශවයට ඇති අවශ්‍යතා අන්‍යෝන්‍ය වශයෙන් සම්පූර්ණ වේ.

යම් පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් දේශපාලන බලයට මී ළඟට පත්වේ යැයි කලින් නිගමනය කරන මෙම කණ්ඩායම එම පක්ෂයට හෝ අපේක්ෂකයින්ට මූල්‍යමය ආධාර ලබා දීමට ඉදිරිපත් වේ. ඉන්පසු එම දේශපාලකයින් බලයට පත් කිරීම සඳහා හැකි සෑම පහසුකමක්ම මොවුන් විසින් සපයා දේ. බලයට පත්වූ පසු අදාල දේශපාලකයින් සිදු කල යුත්තේ මෙම කණ්ඩායමේ අණ පරිදි වැඩ කිරීමයි. යම් කිසි දේශපාලකයෙකු ඔවුන්ට පිටින් යෑමට උත්සහ කලහොත් එය ඔහුගේ දේශපාලන දිවියේ අවසානය හෝ සමහර විට දිවියේම අවසානය බවට පත් කිරීමට මොවුන් හට බලය ඇත. පසුගිය කාල වලදී ඝාතනයට ලක් වූ සමහර දේශපාලකයින්ගේ අවසාන කාලයේදී ඔවුන් හට සිටි ආරක්ශකයින් ගණන ප්‍රමාණයෙන් අඩු වූ බව අපි දනිමු.

මෙම කණ්ඩායම කාලයක් තිස්සේ සහය දක්වන පක්ෂයේ බල කාලය අවසන් වන විට ඔවුන් නැවත පරණ චක්‍රයම ආරම්භ කරති. මී ළඟට බලයට පත්වෙන්නා සොයා යති. මෙම සම්බන්ධතාවය හුදෙක් පාක්ෂික භාවයක් නම් චන්ද්‍රිකා ආණ්ඩුව තුල සිටි ව්‍යාපාරික බල කණු රනිල් හෝ මහින්ද ආණ්ඩු තුලදී කඩා වැටිය යුතුය. මොවුන් තුල සැබෑ ලෙසම පාක්ෂික භාවයක් හෝ දේශපාලනික මතයක් නැත. ඇති එකම අරමුණ බලය පමණකි. සැබවින්ම අප ඡන්දය ලබා දී යවනවා යැයි සිතා සිටින රජය ව්‍යාපාරිකයින් පිරිසක් විසින් වෛශ්‍යා කමේ යොදවා ඔවුන්ගේ ලාභ ප්‍රයෝජන සඳහා යොදා ගැනේ. ජනතාව වන අප කරන්නේ මෙම කුමණ්ත්‍රණය හඳුනා ගැනීමට අපොහොසත්ව එකිනෙකා කෙරෙහි ඇඟිලි දිගු කරමින් කුමණ්ත්‍රණය සෙවීමයි.

Written by ත්‍රස්තවාදියා

August 18, 2009 at 8:26 pm

Posted in Uncategorized

පද්ධතියෙන් පිට පනින්න

with 6 comments

රැකියා ස්ථානයට තම දිවිය පුරා කඹුරා ඇති නමුත් විශ්‍රාම වැටුප ලබා ගැනීමට එක් එක් ගෝතයින්ට බැගෑපත් වෙන මහල්ලා පද්ධතියට එරෙහි වී පලක් නැත. හෙට අනිද්දා මැරෙන්නට ලංවන ඔහුට ඒ සඳහා කාලය, ශක්තිය හා අරමුණක් ද නැත. ලොක්කන්ගේ දිවිය සුවපත් කිරීම සඳහා යුධ වැදී පාද සුනු විසුනු වී ගිය සොල්දාදුවා පද්ධතියට එරෙහි වී පලක් නැත. පද්ධතිය රැකීමට පාද දෙක දන් දුන් ඔහු දැන් එම කාලකන්ණි පද්ධතියේම හිඟන්නෙක් වී ඇත. දිවිය පුරා දේශපාලක තක්කඩීන්ට ජය ලබා දීමට යටි ගිරියෙන් කෑ ගසමින් රට‍ දෙවනත් කලත් අන්තිමේදී රටට තියා පෞද්ගලිකව තමන්ටද ලැබුන ලබ්බක් නැති බව තේරුම් ගන්නා හෙන්චයියන් පද්ධතියට එරෙහි වන්නේ නැත. ඉතුරු ටිකද කඩේම ගොස් පුරවා ගැනීම ඇඟට ගුණ නිසාය. පනස් වසරක් තිස්සේ එක එකා යකා නැටූ පෙරදිග මුතු ඇටය තුල දක්ෂ කමට නිසි උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට නොහැකි සරසවි වරම් අහිමි සිසුවා පද්ධතියට එරෙහි වන්නේ නැත. ඒ වෙනුවට එම පද්ධතියේ කුහකත්වයට මුහු වෙමින් උසස් අධ්‍යාපනයට එරෙහි වීම මානසිකව සහනයක් ගෙන දෙන නිසාය.

පද්ධතියට එරෙහි වීමට වඩා එයට ආවැඩීම ඉතා පහසුවෙන් කල හැකි දෙයක් මෙන්ම කෙටි කාලීනව පුස් ලාභ ප්‍රයෝජන ලැබිය හැකි දෙයකි. පවතින ක්‍රමයෙන් වැඩිම වාසි ලබන්නේ මහින්දගේ පංතිය වුවත් ඔහුගේ ගුණ වැයීමට වන්දිභට්ටයින් නොඅඩුව සිටීම අප හොඳින් නිරීක්ෂණය කලේ මෙම සිතුවිල්ල ද සිතේ තබා ගෙනය. සැමදා කැරට් අලය මුහුණත ඉදිරියෙන් තබා මුළු මහත් සමාජයම දක්කාගෙන යන දේශපාලකයින්ට කඩේ යෑමට හෝ නොයෑමට, තත්වය, තරාතිරම බලපාන්නේ බොහොම අඩුවෙනි. ඒ පද්ධතිය විසින්ම සමාජයට කාවද්දා ඇති කුහකත්වය හා තරඟකාරීත්වය නිසාය. පද්ධතිය පවතින තුරා කුහකත්වයත් එම කුහකත්ව‍යෙන් පද්ධතිය සුරක්ෂිත වීමත් පැහැදිලි කිරීමට මෙම නිදසුන පමණක් ප්‍රමාණවත් විය යුතුය. මෙම භයානක චක්‍රය අවසානයේ අපව රැගෙන යන්නේ කුමන දිසාවකට ද යන්න මඳකට නැවතී කල්පනා කරයි නනම් ඒ අතලොස්සකි. ඉතිරිය චක්‍රය පවත්වාගෙන යෑමට නොමඳ සහයෝගය ලබා දෙයි. නැවතුනු අතලොස්ස චක්‍රය බිඳ දමා පද්ධතියෙන් පිට පැනීමට උත්සහ කරන සැම විටම, පද්ධතිය පවත්වාගෙන යෑමෙන් ප්‍රයෝජනය ඇති අයවළුන්ට භාවිතා කිරීමට චක්‍රය පවත්වාගෙන යන්නන් ඇත. තමන්ගේ පංතියේ ජනතාව දෙසටම තුවක්කු කට එල්ලා ගෙන සිටින කුලියට නිවසක් ඇති සොල්දාදුවා සිහිපත් කරන්න.

සමාජ සංස්ථාවේ වර්ථමාන තත්වය ඉතා කෙටියෙන් විස්තර කිරීමෙන් ඉහත ප්‍රථිපලය හැර වෙනත් ප්‍රථිපලයක් ලැබේ ද යන්න සැක සහිතය. වඩාත් බැරෑරුම් තත්වය වන්නේ මෙය දැන දැනත් පුද්ගලයින් එය වෙනස් කිරීමට, අඩුම තරමේ විවේචනය කිරීමට ඉදිරි පත් නොවීමයි. මහින්දට ඉදිරි අවුරුදු හැට සඳහා රට භාර දීම ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය බව දැන දැනත් එයට විරුද්ධව කෙළ පිඬක් හෝ සෙලවීමට ඉදිරිපත් වූ අයෙක් අප මෙතෙක් දුටුවේ නැත.  සති ගනන් බජව් දැමූ අය එසේ කලේ තමන්ගේ ඇති දේශප්‍රේමයට නොවන බව වටහා ගෙනත් බජව්ව පවත්වාගෙන ගිය බව අපි දනිමු.

මිනිස් සමාජය ඉතිහාසය පුරා නොයෙකුත් සමාජ ක්‍රම අත්හදා බලමින් සියවස් ගනන් කල් ගත කර ඇත. තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව තේරුම් ගත් විට සමාජ ක්‍රම අතහැර දා ඇත. කිසිම දිනක පවතින ක්‍රමය අතහැරීම කිරි කජු සෙල්ලමක් නොවීය. පවතින ක්‍රමයට විරුද්ධ ඝට්ඨනය ආරම්භ වන්නේ ඉතා සියුම් ආකාරයටයි. කල් ගතවත්ම බහුතරයක් අතර මතවාදයක් ලෙස පැළ පදියම් වන එම ඝට්ඨනය මැඩ පැවැත්වීමට සෑම විටම පවතින ක්‍රමය උත්සහ දරයි.  අවසානයේ පවතින ක්‍රමය අහෝසි වී නව ක්‍රමය ස්ථාපිත වේ.  නව ක්‍රමය තුල පැරණි ක්‍රමයේ ධනාත්මක ලක්ෂණ පවතින අතර ඍණාත්මක ලක්ෂණ මුලිනුපුටා දැමීමට උත්සහ කර ඇත. මෙය පරිණාමීය ක්‍රියාවලියක් ලෙස ඉදිරියට ගොස් අවසානයේ සෑම අයෙකුටම නිදහසින් ජීවත් විය හැකි සමාජයක් ඇති විය යුතුය.

අද සිට ආරම්භ කරන මෙම සටහන එවැනි නව සමාජ ක්‍රමයක් සඳහා මූල බීජ රෝපණයක් වේ යැයි අපි බලාපොරොත්තු වෙමු. මෙම ගමන තුල අප බලාපොරොත්තු වන්නේ විෂ කටු මිස චුම්බන නොවේ. ඒ විෂ තුලින්ම ප්‍රතිවිෂ ලබා ගැනීමට අප බලාපොරොත්තු වන නිසාය.

Written by ත්‍රස්තවාදියා

June 27, 2009 at 1:36 am

Posted in විවිධ

Tagged with