සිස්ටම් එක අපිටද?

අත්‍යවශ්‍ය ප්‍රතිරෝධය

පුරුෂයා සහ වහලිය

with 25 comments

ඉතිහාසය පුරා ඉතා වෙහෙස මහන්සි වී රැක ගන්නා ලද පුරුෂාධිපත්‍යයට එරෙහිව නව ආර්ථිකමය පරාමිතීන් යටතේ නැගෙන ඊනියා ස්ත්‍රී විමුක්තිකාමී රැල්ල මැඩගෙන නැගී සිටීමට දුක්ඛිත ප්‍රයත්නයක් නූතන පුරුෂයින් විසින් දරනු ලැබේ. ගැහැණුන් ඇඳුම් ඇඳිය යුත්තේ දනිස්සේ කුමන ස්ථානයක වෙත ද, ක්ලීවේජය කෙතරම් දුර යා යුතු ද, යන්නෙන් නොනැවතී (පසුගිය දවසක බ්ලොග්කරුවෙකු විසින් කල පරිදි) ස්ත්‍රියක් ඇඳිය යුත්තේ කුමන යට ඇඳුම් වර්ග ද යන්නත් අර්ථ දැක්වීමට ද ඉදිරිපත් වීම නොයෙකුත් සමාජ පසුබිම් වල සමානවම දැකිය හැක.

බස් රියේදී හිර කලිසමක් ඇඟලා ගෙන ඇති කාන්තාවක් දුටු විට රාගාධික ඇස් ඇඟ පුරා යවනා පුරුෂයෝ ඉන්පසු ඇය දෙස අත් දිගු කර ඇය කෙතරම් අශීලාචාර දැයි සාකච්ඡා කරති. පන්සලට පැමිණෙන මිනිසුන්ගේ ප්‍රමාණය අඩු වන විට පොඩි ජාතියේ පබ්ලිසිටි ස්ටන්ට් එකක් කිරීමට ඉදිරිපත් වන ලොකු හාමුදුරුවන්ලා ආදරණීය දුවාලා පුතාලන්ට ළමා සාරි වල අගය කියා දෙති. ලිප්සිටික් තහනම් කරති. දවස පුරා අසභ්‍ය වෙබ් අඩවි මගින් ස්ත්‍රී ශරීරයට ඇති ආසාව සංසිඳවා ගන්නා අය බ්ලොග් අඩවි තුලින් යට ඇඳුම් විකුණන කොම්පැණි කාරයින්ට ගුටි බැට දීමට ඉදිරිපත් වෙති. ඒකාධිපති වීමට දඟලන පුරුෂ සමාජය එක් ශරීරාංගයක් වත් නිරාවරණය නොවි ඇති ස්ත්‍රිය සමාජය තුල පරමාදර්ශී ගැහැණිය බවට පත් කිරීමට උත්සහ ගනිමින් සිටී.

අතීතය පුරාම ස්ත්‍රිය පව්කාර වූවාය. බෞද්ධ ගාඩියන්ලා මෙය ක්‍රිස්තියානියට පැටවීමට උත්සහ කලත් බොහෝ ආගම් තුල ඇය පුරුෂයාට වඩා පහත් මට්ටමක සිටියාය. පුරුෂයාගේ ඉළ ඇටයක් වූවාය. පුරුෂයා පවෙහි වෙළීමට හේතු කාරකයක් වූවාය. ස්ත්‍රී ආත්මයක් ලැබීමට වඩා පුරුෂාත්මයක් ලැබීමට පින් කල යුතු විය. ස්ත්‍රියකට බුදු වීමට නොහැකි විය. ඇගේ නුවණ හැඳි මිටට වඩා මහත් නොවීය.රටවල් අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීම සඳහා හුවමාර කර ගන්නා භාණ්ඩයක් විය. සාහිත්‍යධරයින් ඈ කපට, කුමන්ත්‍රණකාරී, චපල ගතිගුණ ඇත්තියක කර වූවෝය. ඈ කලෙක ඡන්ද වරම අහිමිව සිටියාය.

මෙම තත්වයන් යටතේ පුරුෂාධිපත්‍ය ඉමහත් ලාභ ප්‍රයෝජන අත් විඳි අතර තවමත් ඒවා විඳිමින් සිටී. අද ද තරුණයෙකුට, තරුණියෙකුට වඩා ඉහළට ඉගෙන ගැනීමට ආයෝජනය කිරීමට පවුල් සංස්ථාව සූදානම්ය. පුරුෂයා අදහස් දැක්වීමේදී වැඩි පිළිගැනීමක් අත් විඳී. විවාහයකදී බොහෝ අවස්ථා වලදී පුරුෂයා වැඩි තෝරා ගැනීමේ නිදහසක් අත් විඳී.  ස්ත්‍රියකට තෝරා ගැනීමේ නිදහස අවමය. අධ්‍යාපනයේදී ස්ත්‍රිය වඩාත් දක්ෂ කට පාඩමට යැයි මතයක් ප්‍රචලිතව ඇත. මෙය ස්ත්‍රීන් විසින්ම බිඳ දැමීමට අලස මතයකි. දේශපාලනයේදී ස්ත්‍රී දායකත්වය අවධානයට හසු නොවේ. රෝසා ලක්සම්බර්ග්, ලෙනින් තරමට ජනප්‍රිය නැත්තේ එබැවිනි. වෙනකක් තබා කාන්තා විමුක්තිය යනු පුරුෂයා සිදු කරන සියළු දේ සිදු කිරීම යැයි අර්ථ දැක්වීම ද කලක දී සිදුවිය.

නව අර්ථ ක්‍රමයන් යටතේ නැගෙන ස්ත්‍රී විමුක්තිය සැබෑවක්දැයි අපි නොදනිමු. නමුත් එය නියත වශයෙන්ම පුරුෂ බැමි බිඳ හලා දමන්නේය. ස්ත්‍රිය ස්වයංතීරණ ගන්නා තත්වයකට උස් කර තබන්නේය. තව දුරටත් තවකෙකු යටතේ සිටීමට නොකැමැත්තක් ස්ත්‍රී සමාජය තුල ඇති කරන්නේය. සම්පූර්ණයෙන් නිදහස් වූ ස්ත්‍රියක් වෙත ළඟා වීමට මෙය කෙතරම් ඉවහල් වේ දැයි අප හට සැකයක් ඇත (සෑම දෙයක්ම විකිණිය හැකි තත්වයක් තුල විකාරරූපි ලෙස පැන නැගුණු එක් දෙයක් සාධනීය විය හැකි ද යන්න අපගේ සැකයට ලක්වේ). නමුත් පැවතුනු වහල් ක්‍රමයට වඩා මෙය සිය දහස් ගුණයකින් වටින්නේය.

ආපසු හැරී දුටුගැමුණු කාලයට දිව යෑමට දඟලනා ශ්‍රී ලාංකීය සමාජය තුල මෙම විමුක්ති රැල්ල කොතෙක් කල් පවතී දැයි සිතා ගත නොහැක. නිදහස් මතයක් දැරිය යුතු තරුණයින්ද විකාර අදහස් හිස් තුල ලා ගෙන සිටීම ධනාත්මක නොවේ. නව පරම්පරාව නව අදහස් නිපදවිය යුතු යුගයක අප රට තුල නව පරම්පරාව වැළලී ගිය හණමිටි අදහස් ගොඩ ගැනීමට උත්සහ දරති. සමස්ථ සමාජයක් ලෙස දියුණුව කරා යෑමට මෙම තත්වය ඉවහල් වේ ද යන්න අප මඳක් නැවතී සිතා බැලිය යුතු කාරණයකි.

Written by ත්‍රස්තවාදියා

December 1, 2009 at 12:05 pm

25 Responses

Subscribe to comments with RSS.

  1. අනර්ගයි…….

    පිස්සා

    December 1, 2009 at 1:51 pm

  2. කාන්තාව අද තනිකරම වෙළද භාණ්ඩයක් බවට පත්වී ඇත /පත්කර ඇත. ඇය නැතිව වාහන ටයර් එකක්වත් විකූණාගත නොහැකි වී ඇත.

    wath

    December 1, 2009 at 2:35 pm

  3. ඇත්ත කතාව. නමුත් ඔබ බෞද්ධ ගාඩියන්ලා යන්නෙන් අදහස් කලේ කාටද?

    Mahesh Arandara

    December 1, 2009 at 3:21 pm

    • කාන්තා විමුක්තිය පිළිබඳ අදහස් දැක්වීමේදී බොහෝ අන්ධ භක්තිකයින් ප්‍රකාශ කරන්නේ වෙනත් ආගම් වල කෙසේ වෙතත් බෞද්ධාගමේ කාන්තාවට සම තැන ලබා දී ඇති බවයි. ඔවුහු නිදසුනක් ලෙස ක්‍රිස්තියානියට හෝ ඉස්ලාම් ආගමට යුහුසුළුව ඇඟිලි දිගු කරති. නමුත් බෞද්ධාගමේද කාන්තා සම තැන හාමුදුරුවන්ගේ බණටත්, පොතටත් සීමා වී ඇත. පුරුෂාධිපත්‍යය තහවුරු කර ගැනීමේ ප්‍රයත්නයක් ලෙස බුදුන් දෙසූ ධර්මය විකෘති කර ඇත. අනෙකුත් ආගම් වලද සිදුව ඇත්තේ සමාන සිදුවීමකි.

      නූතන සමාජය තුල ලිංගික ඝට්ඨනය අප පෙන්වා දී ඇත්තේ එදිනෙදා අපට අසන්නට දකින්නට ඇති දේ ඇසුරෙනි. ඒ අනුව අපට පුහු උජාරුකරුවන් බොහෝ සේ අසන්නට දකින්නට ලැබී ඇත. බෞද්ධ ගාඩියන්ලා ද මෙවැනි අනෙකුත් ආගම් මෙන් නොව අපේ ආගම වටනේය යනුවෙන් තප්පුලන පිරිසකි.

      ත්‍රස්තවාදියා

      December 1, 2009 at 3:32 pm

  4. ත්‍රස්තවාදි සහෝදරයා,
    බෞද්ධාගමේ කාන්තාවට සම තැන ලබා දී තියෙනවා.ඔබ දර්මය නොදැන එහෙම කියන එක වැරදියි. සමහර බෞද්ධයන්ගේ කර්මයන් අනුව බෞද්ධාගමට දෝශාරෝපනය කිරිම වැරදියි.

    Mahesh Arandara

    December 1, 2009 at 3:50 pm

    • උදාහරණ කිහිපයක් ලබා දෙන්න. අප සමාජය හැඩ ගැන්වී ඇත්තේ බුද්ධ ධර්මයට අනුව නම් ඔබ සමාජයෙන්ම ඒ සඳහා ප්‍රායෝගික උදාහරණ ලබා දිය යුතුය.

      ත්‍රස්තවාදියා

      December 1, 2009 at 4:12 pm

      • සහෝදරයා, මම අදහස් දැක්වුවේ සමාජය ගැන නොව බෞද්ධාගම ගැනයි. ඔබේ “කාන්තා විමුක්තිය පිළිබඳ අදහස් දැක්වීමේදී බොහෝ අන්ධ භක්තිකයින් ප්‍රකාශ කරන්නේ වෙනත් ආගම් වල කෙසේ වෙතත් බෞද්ධාගමේ කාන්තාවට සම තැන ලබා දී ඇති බවයි.” වගන්තිය වැරදියි. බෞද්ධාගමේ කාන්තාවට සම තැන ලබා දී තියෙනවා. එසේ කියන්නන් අන්ධ භක්තිකයින් කිම වැරදියි.

        Mahesh Arandara

        December 1, 2009 at 4:39 pm

      • ස්ත්‍රියකට බුදු වීමට නොහැක.
        ස්ත්‍රි ආත්මයක පුරුෂාත්මයකට වඩා පින් මදය.

        මෙම ප්‍රකාශ සිදු වන්නේ බෞද්ධ ධර්මයේය. වඩා නිවැරදිව කිවහොත් සංඝයා විසින් ග්‍රන්ථාරූඩ කරන ලද ධර්මයේය. සමාජයට වැඩක් නැති, සමාජය අනුගමනය කරන්නේත් නැති බෞද්ධාගමක් ආරක්ෂා කිරීම හෝ විවේචනය කිරීම අපගේ අරමුණ නොවේ. අප කතා කරන්නේ සමාජය පිළිබඳවය. ස්ත්‍රිය දෙකේ කොළයට දමමින් බෞද්ධාගම ගැන බණ කියනා සමාජය පිළිබඳවය. සම තැන දී ඇත්නම් එය අනුගමනය නොකර වෙනත් ආගම් වලට ඇඟිලි දිගු කරන්නන් පිරි විකාරරූපි සමාජය පිළිබඳවය. ස්ත්‍රියට සම තැන ලබා දී ඇත්තේ තමාගේ ආගමේ පමණක් නොවන බව මෙවැන්නන් නොදනී. ඔවුන්ට එම පාඨය අවශ්‍ය වන්නේ තමා අයිති එවැනි ආගමකටයැයි කීමට මිස එය අනුගමනය කිරීමට නොවේ. ඔබට සමාජය තුලින් උදාහරණ ඇද ගැනීමට නොහැකි වූයේ එබැවිනි. තමා අනුගමනය නොකරන දෙයක් ප්‍රශංසා කරන ඔවුන් අපට පෙනෙන්නේ අන්ධ භක්තිකයින් ලෙසය. තමා අනුගමනය කරන්නේ කුමක්ද? එහි යථාර්තය කුමක්ද? යන්න ඔවුන් විමසා බලා නොමැත. මීට වඩා හොඳ වචනයක් යෝජනා කරන්න.

        ත්‍රස්තවාදියා

        December 1, 2009 at 5:06 pm

  5. ela . .

    මනුසත්

    December 1, 2009 at 4:42 pm

  6. මොකෝ ත්‍රස්තවාදී මලයෝ මේ ගැන කියන්නේ

    01. කාන්තාවට පමණක් නොව පිරිමියාටද හිතූ හිතු දේ කරන්න ඉඩදීම සමාජ පැවැත්මට අහිතකරයි.. සමහර පිරිම තමා ලෝකෙට ලොක්ක යැයි සිතා කටයුතු කරයි…. කාන්තාව පමණක් නොව පිරිමියාද තමන් ගැන මෙන්ම සමාජයේ අන් අය ගැන ද සිතා කටයුතු කළ යුතුය.. වෙළදාමේදී කාන්තාව යොදා පිරිමියාව බිලි බානවා වගේ ම පිරිමි යොදා කාන්තාව ද බිලිබාන බව නොපෙනේද?

    මෙන්න මෙතනදී නම් දෙගොල්ලම එකයි වගේ … මේ එක උදාහරණයක් විතරයි.. ලඟදීම ලංකාවේ කෙල්ලන්ටත් ආස හිතෙයි …. සම තැනයි හෝ නිසි තැන දෙන එක යුතුකමක් ‍නේද?..

    ”පුරුෂයාට වඩා පහත් මට්ටමක සිටියාය. පුරුෂයාගේ ඉළ ඇටයක් වූවාය.”

    “ස්ත්‍රිය ස්වයංතීරණ ගන්නා තත්වයකට උස් කර තබන්නේය”

    මෙන්න පුරුෂයා…

    මෙන්න කාන්තාව

    වෙනසක් තියේද?

    සිතුවිලි

    December 1, 2009 at 7:27 pm

    • ඔබ මතු කරන අදහස අපි මෙසේ සාරාංශ කොට දැක්වීමු.

      “සම්පූර්ණයෙන් නිදහස් වූ ස්ත්‍රියක් වෙත ළඟා වීමට මෙය කෙතරම් ඉවහල් වේ දැයි අප හට සැකයක් ඇත (සෑම දෙයක්ම විකිණිය හැකි තත්වයක් තුල විකාරරූපි ලෙස පැන නැගුණු එක් දෙයක් සාධනීය විය හැකි ද යන්න අපගේ සැකයට ලක්වේ).”

      අප හට වර්තමානයේ පවතින ස්ත්‍රී නිදහස ආරම්භය පමණි. එය හුදෙක්ම පවත්වාගෙන යුතු නැත. විපරිණාමයට භාජනය කල යුතුය. වෙළඳාමේදී ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා නොමැත. ඇත්තේ වෙළඳ සම්බන්ධතා පමණි.

      ඔබ මෙහිදී පෙන්වා දෙනු ලබන උදාහරණය වෙළඳ සමාජයේ තවත් එක්තරා විකාර රූපයක් ලෙස අපට පෙනේ. කාන්තාව පුරුෂයාට සමාන වීමමට උත්සහ දැරීම සැබවින්ම කාන්තා විමුක්තිය ද නැත්නම් හීනමානයද යන්න අප ලිපියේදී ප්‍රශ්න කර ඇත.

      ත්‍රස්තවාදියා

      December 1, 2009 at 8:03 pm

  7. බෞද්ධ ධර්මය ආගමක් නොව.එය දර්ශනයකි.එය අනුගමනය කිරිම හෝ නොකිරිම අප අතේය.අද සමාජය හැඩ ගැන්වී ඇත්තේ බුද්ධ ධර්මයට අනුව නොව,එයම සමාජ පරිහානියට හේතු ව් ඇත.බුද්ධ ධර්මය වදාරා ඇත්තේ සමාජයටයි.බෞද්ධ ධර්මයට අනුව කාන්තාවට බුදු බව පමනි ඒ ආත්මයේදි ලබා ගත නොහැක්කෙ.ඇයට රහත් ව්‍ සසරෙන් එතෙර ව්ය හැක.ඔබේ ආගමේ කාන්තාවට මෙවැනි වට්නාකමක්වත් දි තිබෙද? බුදු බව වනාහි පෙරැම් දම් පුරා ලබා ගත යුත්තකි. ඔබ බෞද්ධ ධර්මය නොදැන ද එයට නිගරැ කිරිම වරදකි. -”සමාජයට වැඩක් නැති, සමාජය අනුගමනය කරන්නේත් නැති බෞද්ධාගමක් “. ඔබට එය වැටහෙන ව්ට ඔබ බොහෝ පුමාද වනු ඇත. දර්මය නොදන්නා අනුවනුන් සමග තර්ක කිරිම නිශ්පල වේ.ඔබ දර්මය දැන එය පිලිබද අදහස් දක්වන්න. ඔබට බුදුසරනයි.

    Mahesh Arandara

    December 1, 2009 at 7:53 pm

    • ඔබ මා බෞද්ධයෙකු නොවන බවට නිගමනයට එළඹීම ඉතාමත් සිත්ගන්නා සුළු සිද්ධියකි. ඔබ මගේ ආගම යැයි පැවසූයේ කුමන ආගමක් ද? පිරිමියෙකුට ලබා ගත හැකි බුදු බව ගැහැණියෙකුට ලබා ගැනීමට නොහැක්කේ කුමක් නිසා ද යන්න ධර්මය දන්නා ඔබ මීට වඩා පැහැදිලි කල යුතුය.

      බෞද්ධ ධර්මය ආගමක් නොවේය, එය දර්ශනයක්ය, අරකය මේකය කියමින් දෙසන බක පණ්ඩිත අදහස් සමාජයට වැදගත් නොවේ. පළමුව ඔබ තුල ඇති වූ බෞද්ධ ගාඩියන් චින්තනයද (මා අන්‍යාගමිකයෙකු යැයි උපකල්පනය), දෙවනුව මා ධර්මය නොදන්නා බවද, තෙවනුව ඔබ බුදුන් දෙසු ධර්මය එයාකාරයෙන්ම දන්නා බවට ඇති වූ සිතිවිලි රටාව අප පොදුවේ ලාංකික මුග්ධ සමාජය තුල අත් විඳින්නෙමු. ඔබතුල අවිඥාණිකව ඇති “තමා ආගම දන්නාය” යන අධිමානය (වෙන්ඩ උපාසක නමින් පොදුවේ හැඳින්වෙන) ආගම් බේදයකින් තොරව මුළු මහත් සමාජය පුරා දක්නට ඇත. දන්නා ධර්මය ප්‍රශ්න කිරීම ඔබ වැන්නන්ට නිගරුවක් වූවාට එය අපට නිගරුවක් නොව තවත් දැනුම සොයා යෑමකි. එය තේරුම් ගැනීමට බැරි ධර්ම පණ්ඩිතයින් සිටීම තව තවත් ආගමේ දාර්ශනික කාර්ය භාරය පිරිහී ඇති බවට පෙන්වා දෙයි.

      ත්‍රස්තවාදියා

      December 1, 2009 at 8:29 pm

      • අනුන්ගේ වාදවලට හොට දෑමීමට අවසරනම්…

        //පිරිමියෙකුට ලබා ගත හැකි බුදු බව ගැහැණියෙකුට ලබා ගැනීමට නොහැක්කේ කුමක් නිසා ද යන්න ධර්මය දන්නා ඔබ මීට වඩා පැහැදිලි කල යුතුය. //

        කොට, දිග, මහත, හීනී පිරුෂ ලිංග කෙල කෝටියක් ලෝකයේ තිබුනත්, දැන් ඇති බුදු කෙනෙක් නොමැත. පුරුශ ලිංගය තුබුනු පලියටම කඩෙන් කලිසමක් ගන්නවා වාගේ යමෙකුට බුදු වීමටද නොහැක. මා මේ කියන්නේ “පිරිමියෙකුට ලබා ගත හැකි බුදු බව ගැහැණියෙකුට ලබා ගැනීමට නොහැකීයැයී” යන්න පට්ට පල් බොරුවක් බවය. පිරිමින්ට නොව, සුනකයන් ඌරන් සහ ගස් ගෙම්බන්ටත් බුදුවිය හැකීය.

        සාදාරන තර්කය් විය යුතුව තිබුනේ, ගැහැනුන්, පිරිමීන්, නපුන්සකයන්, ඇද මකුනන් සහ මෙකී නොකී ජන්ම ගනනාවක උත්සාහය අවසානයේ, බුදුවරයා ගැහැනියෙකු නොවී පිරිමියෙකු වුයේ මොකද කියාලයී. ඒ පුරස්නයට උත්තරය මා දන්නෙන් නැත්තේ, මා බුදුවී නැති නිසාය, එවැනි පුරස්නයක් බුදුන්ගෙ කිසිවෙකුත් අසාත් නැති නිසාය. සන්සාරේ පිනකට බුදු කෙනෙකුගෙන් පුරස්නයක් අහන්න ලැබුනෝතින්, මා මේ පුරස්නය අසන්නේන්ත් නැත.

        //බෞද්ධ ධර්මයට අනුව කාන්තාවට බුදු බව පමනි ඒ ආත්මයේදි ලබා ගත නොහැක්කෙ.ඇයට රහත් ව්‍ සසරෙන් එතෙර ව්ය හැක.//
        කාන්තාවන්ට නොවෙයී, පිරිමින්ටත්, පත්තයන්ටත් උරුලෑවන්ටත් මේ ආත්මයේ ඔය කියනා ආකරයට බුදුවිය නොහැක. තනී ඇදේ ඇලවී යට ලීය දෙස බලාගෙන සිටියදී බුදුවීමට හිතක් පහල වී බුදුවුනු පිරිමියෙක් ගැනනම් බන පොතේ නැත.

        ධර්ම කාරනා කෙසේ වේතත්, ලංකාවේ තලෙයීබානු බුද්දාගම කාන්තාවට පහත් කොර සලකන බව ගැන ගැන කතා දෙකක් නැත. කාන්තාවක් ගෙන ආ බෝදියේ උඩ මලුවට නගින්න කාන්තාවන්ට අවසර නැත. කාන්තාවක් කොන්ඩේ බැදගෙන ගෙනා දලදාව කිට්ටුවට්වත් යන්න කාන්තාවන්ට අයීතිය නැත. ඒ මදිවට අපි කවුරුත් දන්නා හාමුදුරුවෝ ටී.ඇන්.ඇල් එකේදී කීවේ, කාන්තාවන්ට හවස දෙකින් පස්සේ රාජකාරි කිරීම තහනම් කර යූතු බවය. උන්නාසෙගේ මලගම බැලීමට කුදලාගෙන ගිය වයස අවුරුදු 3 පමන කෙලි පොඩිත්තියකගේ උරය පෙනෙනවයැයී කියා උරය වැසෙන්ට, කමිටුවේ උපසක ඇත්තෝ තුවාවක් දානාවා දැක අපේ අම්මා අනේ හපෝයී කීවේය.

        Sam

        December 1, 2009 at 10:28 pm

  8. කාන්තාවන් තුට්ටු දෙකට දාන්නේ පුරුශයායැයී කීම අලංකාරය. සරලය. තේරුම් ගැනීමට පහසුය. යාතාර්තයෙන් තොරය. කාන්තාවන් තුට්ටු දෙකට දා ඇත්තේ සමාජයයී. සමාජය පිරිමි ගැහැනු මහනුන් සහ අනෙකුත් ක්‍රමවේදයන් ගනනාවක එකතුවකි.

    හිර කලිසම හොද උදාහරනයකි. හිර කලිසමට කොල්ලන් නොක්කලේ දාන බව සැබැය. නමුත් කොල්ලන්ට පෙර එයට අපහාස කොරන්නේ අනෙකුත් කාන්තාවන්මය. බොහෝ විට වැඩිහිටි (රූපයේන් පහත්වේගෙන යන) කාන්තාවන්ය. කාන්තාවන් ලිප්ස්ටික් ගාන්නෙත්, ආබරන පලදන්නේ පිරිමින් ආකර්ශනයටැයී කීම සරලය. නමුත්, අනේ ඒ ලමයාගේ ලිප්ස්ටික් වලට මම කැමති නැතැයී කියා ඒ කාන්තාවත් සමග බුදියන්න බෑයී කී පිරිමියේකු මනුශ්‍ය ඉතිහාසයේ නැත. දුර්බීක්ශ සමයන්ගේත්, කොලරා වසන්ගත සමයන්ගේදීත් ලමයී උපදින්නේ, තද කලිසම් නොවෙයී මොන මගුල ඇදගෙන සිටියත් පිරිමි කාන්තාවන්ට ආකර්ශ්නය වී ඇති නිසාය.

    මාගේ තර්කය, මේ ලිප්ස්ටික හෝ තද කලිසම් සටන කාන්තාවන් සහ කාන්තාවන් අතරම සටනක් බවය. කිසිම කාන්තාවක්, “මේ ලමයීගේ තාත්තේ, මම පාටියට අදින්න ඔයා කැමති මොකැද්දැයී” කියා අසන්නේ නැත. දෙබස යන්නේ මෙසේය. “මේ, රමනි ඇදගෙන එන්නෙ අර ඉන්දියාවෙන් ගෙනාපු සාරිය, මේ මගුල මට ඇදගෙන යන්න බැහැ, අලුතෙන් හැටෙටෙකුයී සාරියකුයී ගන්න ඕනේ.” කියලාය.

    පාසල්වලට සාරි අදින්නයැයී කියා තග දැමීමේ ආරම්බය එන්නේත් මේ කාන්තා සටනෙන්මය. වයස නිසා මේ සටනේන් පරාජයට පත්වන කාන්තාවන් සෑම විටකම තරගයේ නීතී රීතී වෙනස් කිරීමට දරන උත්සයයේ ප්‍රතිපලයක් ලෙසය. පිරිමින් මේ සටනට සහබාගි වන්නේ අනෙත් සියලුම අවස්තාවගේ කාන්තාවන්ගේ පස්සෙ කෙල හෙලාගෙන යනවා වාගේම, පසුපස යන්නන් වශයෙනී. ලංකාවේ වැඩි කාන්තා ප්‍රතිශතය මේ තරගය උග්‍ර කරයී.

    මේ ගැටලුව මීට වඩා ගැබුරුය. අපේ දෝනියැන්දලා හිරකාරයන්වාගේ නීතී රීති දාගෙන උදේට හවසට පාසලට ගෙනියන්නේත්, යන යන පස්සෙන් යන්නේත්, අප්පච්චිලා නොවෙයී. අම්මලාය. ආත්තම්ලාය. ගැනූ ලමයීට වැට කොටු දාන්නෙත්, බෙල හීන කරන්න්තේ, අපහාස කොරන්නේත්, කතා හදන්නේත්, අප්පාගේ කන්තෝරුවේ යාලුවෝවත්, මාමාවත්, බාප්පාවත් නොවෙයී, අම්මාගේ කන්ත්තෝරුවේ යාලුවෝය. නැන්දාය, අල්ලපු ගෙදර නෝනාය.

    ලංකාවේ පුරුශයාට අමතර වාසි නැතයී මා කියන්නේ නැත. ලංකාවේ පුරුශයා කාන්තාව පහත් කොරන්නේ නැතයී මා කියන්නේත් නැත. නමුත් මා කියන්නේ, කෙල්ලව බලෙන් කසාද බන්දන්නේ අප්පා නොවෙයී, අම්මා බවය.

    Sam

    December 1, 2009 at 10:59 pm

    • බොහෝ කරුණු පිළිබඳව එකඟ විය හැක.

      ගැහැණුන්ට බොහෝ විට තහංචි පැනවෙන්නේ ගැහැණුන් මතින් බව සැබෑය. නමුත් එහිදී ගැහැණුන් එකඟ විය යුතු සමාජ රීති පනවා ඇත්තේ පුරුෂ මූලික සමාජය විසිනි. තරුණ වියේ සිටින ගැහැණු දරුවා පිළිබඳ මවට ඉතා හොඳ අවබෝධයක් ඇති නමුදු ඇයව පාලනය කර හිර කර තැබීමට මවට සිදු වී ඇත. ඒ ඇය නිදහස භාවිතා කල විට අවමාන ලැබීමට නියත විවරණ ලබා ඇති හෙයිනි. කතා හදන්නේ අප්පච්චිලා නොවන බව සැබෑය. නමුත් නිදල්ලේ ගිය දුවට වඩා නිදැල්ලේ ගිය පුතා ගෙට වද්දා ගැනීම පවුලට කැපය. මෙම අවිඥාණික පරාමිතීන් අප දකින්නේ පුරුෂ මූලික සමාජ නිර්මිතයන් වශයෙනි.

      ගමේ ගොඩේ අප අසා ඇති කතාවක් මෙලෙසය. දරුවන් යහමගේ යන්නේ නම් හොඳ නම පියාටය. දරුවන් නොමඟ ගොස් ඇත්නම් නරක නාමය මවටය.

      ත්‍රස්තවාදියා

      December 1, 2009 at 11:39 pm

  9. //……ඒ ඇය නිදහස භාවිතා කල විට අවමාන ලැබීමට නියත විවරණ ලබා ඇති හෙයිනි. කතා හදන්නේ අප්පච්චිලා නොවන බව සැබෑය. නමුත් නිදල්ලේ ගිය දුවට වඩා නිදැල්ලේ ගිය පුතා ගෙට වද්දා ගැනීම පවුලට කැපය. //

    මේ කාරනය මා කී කරනයටම හොදම උදාහයනයී. මතක් කරාට තුතී. කොල්ලාට පුරස්නයක් නැත්තේ, කොල්ලා තරඟ කාරයෙක් නොවෙන නිසාය. කොල්ලාට පරදින්න යුද්දයක් නැත. කෙලීව අම්මා රකින්නේ අනික් ගැනුන්ගේ (කයි කතාන්දර) වලිනි. කෙල්ල ගැන කතා තිබේයැයී කියා ඒ කෙල්ලත් එක්ක යන්න බැහැයී කියනා පිරිමින් එසේ කියන්නේත් අනෙකුත් ගැහැනුන්ගෙ (මව, නැන්ද සහ ආත්තමා සහිතව) ත්‍රස්තවාදී තර්ජනයන්ට බයෙන්ය. ඒ සියලුදෙනාටම හොරෙන් ඒ කෙල්ලත් එක්ක බුදියන්න ලැබුනෝතින් බුදියනවා පමනක් නොවෙයී, රන් කහවනු දෙන්නත් ඕනෑම පිරිමියෙක් ඕනෑම අවස්තාව ලෑස්තිය.

    ගැහැනුන් ගැහැනුන් තරග කරන්නේ මන්දැයී යන්න වෙනමම කතාවකී. ලෝකයේ සියලුම දේ වාගේම, එය පිටුපසත් සන්කීර්න හේතු තිබෙ.

    පුරුෂ මූලික සමාජයයන් නැතැයී මා කියන්නේ නැත (ඒ පිලිබද ඔබ හොදින් විස්තර කර තිබේ. ඒ කතාවේ වෙනත් පැති මා කියන්නේ කතාව රසවත් වෙතැයී බලාපොරොත්තුවෙනී).

    වහලිය හිමිකරු පලනය කරන්නේ හිමිකරු නොදැනුවමය. හිමිකරුට පාලන බලය ඇතැයී යන හැගීම පෙන්වීමත් ඒ පාලනයේම කොටසකි. මේ සමාජීය සම්බන්දයත් බොහෝ දුරට කුඩා දරුවන් සහ දෙමාපියන් අතර ඇති සම්බදයට සමානය. බැලු බැල්මට පාලකයා දෙමාපියන් වුවද, කුඩා දරුවන් ඇති දෙමාපියන් හොදින්ම දන්නා කරනයක්නම්, දෙමව්පියන් දරුවන්ගෙ වහලුන් බවය. පොඩ්ඩා ලොකු වෙනවිටයී දෙමාපියන්ට නිදහස ලැබෙන්නේ. පුරුෂ මූලික සමාජයත් එලෙසම සන්කීර්නය.

    //ස්ත්‍රිය ස්වයංතීරණ ගන්නා තත්වයකට උස් කර තබන්නේය. තව දුරටත් තවකෙකු යටතේ සිටීමට නොකැමැත්තක් ස්ත්‍රී සමාජය තුල ඇති …//
    අවසානවශයේන් කීමට ඇත්තේ, ගෙදර ආර්තියකය පමනක් නොවෙයී, රටේ ආර්තිකයේ බර පටවා ඇත්තේත් කාන්තාවන් පිටයී. ලංකාවේ කාන්තාවන් පිරිමින් වාගේ ස්වයංතීරණ ගත්තානම්, අපි ඔක්කටම කන්න වෙන්නේ පස් තමයී.

    Sam

    December 2, 2009 at 2:55 am

    • එකඟයි. බොහෝ කරුණු අප විසින්ම අත් විඳ ඇති ඒවා වේ.

      නමුත් එක් කාරණයක් පමණක් මතක් කර දෙමි. ස්ත්‍රිය ට අවශ්‍ය වුවහොත් මෙම පවතින කරුණු කාරණා වෙනස් කර හැකි ද?

      ත්‍රස්තවාදියා

      December 2, 2009 at 8:29 pm

  10. ත්‍රස්තවාදියාණෙනි,
    ඔබ ලියා ඇති සියල්ල කියැවූ කල ඔබ තුළ බුදු දහම පිළිබඳ විවේචනයකට වඩා ඇත්තේ වත්මන් සමාජය පිළිබඳ විවේචනයක් බව හැඟේ. සමාජ පරිහාණිය පිළිබඳ යමෙකුට කළ හැකි හොඳම දේ තමා නිවැරදි වීමයි. සමාජය හැකි පමණින් දැනුවත් කිරීම මැනැවි. නමුත් කිසිදු ආගමික හෝ සමාජ කොඨාසයක සිත් නොරිදවීම ඔබේ අදහස් වැඩි පිසක් වෙත ගෙන යාමට ඉඩ ලබා දෙනු ඇත.

    ස්ත්‍රියට නිසි හෝ සම තැන දීම පිළබඳ මට යමක් කමක් තේරන දා සිට අසමි. නමුත් සිදු වී ඇති සෙතක් නම් නැත. සියල්ලන් තම තමන්ගේ රාමු වල සිට බලමින් සදා කල් එක තැන ලැග සිටිනු දැකිය හැක.

    මා සාමාන්‍යයෙන් මෙවන් ඉමක් නැති මාතෘකා තුළ පැටලෙන්නේ නොවෙමි. නමුත් *මා විශ්වාස කරන දෙය* කීම තව එකෙකුට හෝ හොඳක් වෙනු ඇතැයි සිතමි.

    මානව පරිණාමය මම දැනට විශ්වාස කරමි. ඒ අනුව පුරුෂයාට සහ ස්ත්‍රියට ස්වාභාවිකව උරුම වුනු රාජකාරි කොටසක් ඇත. මෙම මාතෘකාවේ මූල ලක්ෂ්‍යය ලෙස මා සලකන්නේ එයයි. අද වන විට සමාජය ඉන් දැඩි සේ අපගමනය වී ඉතා සංකීර්ණ සහ මා අසා ඇති පරිදි දියුණු සමාජ රටාවක් දක්වා පැමිණ ඇත. ඒ එන ගමනේ සිදු වූ වෙනස් කම් අප ස්වාභාවිකත්වයන් ඈත් කර නව කෘත්‍රිම ප්‍රශ්න ලබා දී ඇත. දැන් ඉතින් ඒ ප්‍රශ්න සමග ජීවත් විම හෝ *සුදුසු* තරමින් ස්වාභාවිකත්වයට ලං වී ජීවත් වීම මැනැවි.

    ඔබගේ චින්තන රාමුව සමග මේ අදහස් ගැලපේ නම් මම සතුටු වෙමි. නමුත් වෙනත් රාමුවක සිට අසන ප්‍රශ්න කිරීම් හෝ විවේචන වලට පිළිතුරු දීමට මම සමතකු නොවෙමි.

    chanux

    December 2, 2009 at 11:40 am

    • //කිසිදු ආගමික හෝ සමාජ කොඨාසයක සිත් නොරිදවීම//
      අප දකිනා ආකාරයට ඊනියා ආගමික හා සංස්කෘතික බාධක මිනිසාගේ දියුණුව අවහිර කරන ප්‍රධාන කරුණු වේ. විශේෂයෙන් (වර්තමානයේ දාර්ශනික මුහුණුවරකට වඩා වෙළදාමක මුහුණුවර ගන්නා) ආගම සමාජය පුරාම පැතිර ඇති තුවාලයකි. තුවාලය සුවපත් කිරීම අපගේ ඒකායන බලාපොරොත්තුව නොවේ. මෙවැනි ක්‍රමයක් තුල අප වැන්නන්ට එය කල හැකි දෙයක් ද නොවේ. නමුත් තුවාලය සුව කිරීමේ මූලික කාර්ය භාරය ඉටු කිරීමට අපි බලාපොරොත්තු වෙමු. කිසිම දිනක සමාජයේ සියලුම දෙනා ඒකාකාරයෙන් දැනුවක් නොවනු ඇත. එනිසා අප විවිධ සමාජ සංස්ථා විවේචනය කිරීමේදී ඒවාට අයත් වූවන්ද විවේචනයට හසු විය හැක. නමුත් එම නිසා විවේචනය කිරීම නැවැත්විය නොහැක. සිත් රිදීම හා නොරිදීම පුද්ගලයා මත රඳා පවතී.

      ස්වාභාවිකත්වය හා මිනිස් සංහතිය පිළිබඳ අප දරන අදහස වෙනම ලියා තැබිය යුතුය. සත්‍ය වශයෙන්ම මිනිසා තව දුරටත් ස්වාභාවික නීති වලට අවනත වීමට හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නොමැත. කෘත්‍රිම ගැටළු නිපදවා ඇති ආකාරයෙන්ම ඒවා විසඳීමට අවශ්‍ය දැනුම ද තාක්ෂණය ද අප සතුව ඇත. නොමැත්තේ ඒකරාශී වූ අදහසක් පමණි.

      ඔබගේ අදහස් දැක්වීම අගය කොට සලකමු.

      ත්‍රස්තවාදියා

      December 2, 2009 at 8:40 pm

  11. කොච්චර කතා කළත් . අපි තාම එක තැන.

    ත්‍රස්තවාදියා අපිට හිතන්න යමක් දෙන අදහස් ලියන එක ගොඩක් අගය කරනවා.

    තව ලියන්න සහෝදරයා..

    L G

    December 2, 2009 at 2:41 pm

  12. good post! machan,

    kasun

    December 2, 2009 at 4:33 pm

  13. ලාංකීය බුදුදහම යන විහිළුව දඩමීමා කරගෙන නන්නත්තාර වෙනවානම් මෙතන කතා කර තේරුමක් නැත. ලංකාවේ දැනට සිටින චීවරධාරීන් විසි බුදුදහම උන්ට ඕනා විදිහට වෙනස් කර ඇත. අනෙක් සියලු ආගම්වලට වී ඇත්තේද මේ ක්‍රියාවලියමය. කාන්තාව දුබල කර ඇත්තේ සමාජය විසිනි. සියලු කාන්තාවන් අයිඩියල් කාන්තාවක් ඇසුරෙන් නිර්මාණය වීමට උත්සාහ කරයි. පුරුෂයෝද අයිඩියල් ගැහැණියක් සොයති.. කොතනද වැරැද්ද…

    ගෝමස්

    December 8, 2009 at 5:30 pm

  14. niyamayi . . . comments tikath niyamai . .

    දුකා

    December 10, 2009 at 5:19 pm

  15. To the moralist prostitution does not consist so much in the fact that the woman sells her body, but rather that she sells it out of wedlock.

    - EMMA GOLDMAN, Anarchism and Other Essays

    Anarchist

    January 1, 2010 at 8:35 pm


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.