සිස්ටම් එක අපිටද?

අත්‍යවශ්‍ය ප්‍රතිරෝධය

සරත් අත්අඩංගුවට : ප්‍රජාතාන්ත්‍රවාදය මලා ද?

with 9 comments

පොදු අපේක්ෂක ලෙස මහින්දට විරුද්ධ පාර්ශවයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී පරාජය වූ ජෙනරාල් සරත් ෆොන්සේකා හමුදා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ආරංචියේ හැටියට ඒ බල්ලෙකුට මෙන් ගුටි නෙලමින් බිම දිගේ ඇදගෙන යමින්ය. නාවික හමුදා කඳවුරක රඳවා ගෙන ඇති ඔහුට ගුටි පූජාවක් ලැබෙන බවට දූසමාන ආරංචි පැතිරෙමින් පවතී.

ජෙනරාල් අත්අඩංගුවට ගැනීමට විරෝධය පෑමක් ලෙස විරුද්ධ පාර්ශවය විසින් අද දින අලුත් කඩේ උසාවිය ඉදිරිපස විරෝධතා ව්‍යාපාරයක් මෙහෙයවීය. එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ එකම පසක සිට එල්ල කරන ලද මේ විරෝධතාවයට පිළිතුරු ලැබුනේ කිසියම් පිරිසක් විසින් එල්ල කෙරුණු ගල් මුල් ප්‍රහාරයක් හා ඉන්පසුව එල්ල වුනු කඳුලු ගෑස් ප්‍රහාරයකිනි.

Facebook, Twitter හා ඊමේල් ප්‍රජාතාන්ත්‍රවාදය ඉල්ලා මරහඬ තලමින් සිටී. ජෙනරාල් අත්අඩංගුවට ගත් තැනේ පටන් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය පිරිහුණේලු. පාර පුරා තාප්ප වලින් කරුණා ගැනත් ජෙනරාල් ගැනත් නැවත නැවත මතක් කෙරෙමින් පවතී. Facebook දේශප්‍රේමීන් විසින් කලු කොඩි හා සටන් පාට වලින් කණ පුරවමින් සිටී.

මේ සියල්ලන්ටම අනුව ජෙනරාල්ට හා අනෙකුත් විරුද්ධ පාර්ශවිකයින්ට එරෙහිව මේ සිදු කෙරෙන මර්ධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය බල්ලාට ගොස් ඇත. අපට තේරුම් ගත නොහැක්කේද මෙයයි.

බල්ලාටවත් යෑමට ප්‍රජාතන්ත්‍රවාදයක් මෙරට තුල තිබුනේ කවදාද?

අප යන්තම් බහතෝරන කාලයේ සිට මෙරට තුල නොයෙකුත් වරණ පැවැත්වුනු අතර ඒ කිසිම වරණයක් සාධාරණ හා සාමකාමී වරණයක් නොවිණ.

88-89 කාලය තුල 60000කට ආසන්න පිරිසක් පාලකයින් හා කැරලිකරුවන් විසින් ටයර් මතින් මරුතුරුලට තරඟයට යවා ගෙන ඇත.

අවුරුදු තිහකට ආසන්න කාලයක් තුල වර්ගවාදයෙනුත් වෛරයෙනුත් බලතන්හාවෙනුත් ඔද වැඩී මනුෂ්‍යත්වය සහ මුලින්ම කෙලෙසාගෙන ඇත.

පසුගිය අවුරුදු තුන තුලදී පමණක් යුද්ධයෙන් සිදුවී ඇති විශාල ප්‍රමාණයේ සිවිල් ඝාතන රැසක් දේශයේ නාමයෙන් සිදු කර ඇත.

දෙමළුන්, මුස්ලිම්වරුන් හා ක්‍රිස්තියානි කතෝලික සුළු ජාතීන් පසුගිය මාස කිහිපය තුලදී දේශයේ අනෙකා කර ඇති අතර පසු වූ ජනාධිපතිවරණයේදී ජාතිවාදය ප්‍රධාන අවිය බවට පත් කර ගන්නා ලදී.

විරුද්ධ මත දැරූ ලසන්ත, තිස්සනායගම්, ආදීන් පීඩාකාරී මර්ධනයන්ට යට කර දමනු ලැබින. ලසන්ත නාඳුනන තුවක්කු කරුවෙකුගේ වෙඩිපහරකින් මිය ගියේ මෙහි අන්තයට යෑම නිසාය.

මාධ්‍යවේදීන් හා අනෙකුත් ක්‍රියාකාරීන් විවිධ ප්‍රහාරයන්ට ලක් වූ අතර ඒ වෙනුවෙන් කතා කිරීම පත්තර කන්තෝරු සීල් තැබීමට හා තර්ජන ලිපි පැමිණීමට මූලික හේතූන් විය.

දෙමළුන් තවමත් කඳවුරු තුලට ගාල් කර ඇති අතර සිංහලුන් එය දැක වින්දනයක් ලබා ගන්නා තැන පත්වී ඇත.

මේවා මෙසේ සිදු වුණි නම් අර කතා කලේ අහවල් රටක ප්‍රජාතන්ත්‍රවාදය ගැනද?

බුරුතු පිටින් උතුරේ සිවිල් වැසියන් මරා දැමෙද්දී ජවිපෙ කල එක ප්‍රතිචාරය වන්නේ හුරේ පාරකි. එජාපය හිරිකිතයක් නොමැතිව යුධ ක්‍රියාමාර්ගයට අනුමැතිය දැක්වීය. සරත් සිදු කලේ හමුදා නිලධාරියෙකුට නොසුදුසු අන්දමින් දේශපාලනික අදහස් දැක්වීම පමණකි.

අයෙකුට අනුව සරත් ආදරණීය තාත්තෙකි. මේ ආදරණීය තාත්තා දුන් අණ මගින් මිය ගිය දරුවන් ගණන කෙසේදැයි යුද්ධය අවසන් වූ අලුතම වන්නියට පැමිණිය අය දනී. කලමණාකරනයෙන් දෙනු ලබන නියමිත කාලයන් ලබා ගැනීමට සිවිල් වැසියන්  නොසලකා හරිමින් කාලතුවක්කු ප්‍රහාර එල්ල කෙරුණු සැටි ඒ කාලයේ ප්‍රවෘත්ති මූලයන් කිහිපයක් ඇසුරින් සොයාගත හැක.

ඒ මර්ධනය සිදුවෙද්දී ඇරුණේ බොහෝම සීමිත කටවල් ප්‍රමාණයකි. දැන් උඩ පනිමින් කෑ ගසන බොහෝ අය යුද්ධයට ඉත සිතින් ආශිර්වාද කල අයයි. එකල පීඩිතයන් වෙනුවෙන් පෙනී නොසිටි මොවුන් දැන් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ජනතා නැගිටිමක් බලාපොරොත්තුව සිටී. මේ කුමන විහිළු ද?

“අනෝමා, මට නුඹේ කඳුළු වලට දුක සිතෙන්නේ නැත”.

Advertisement

9 Responses

Subscribe to comments with RSS.

  1. agreed, u r correct

    නිදහස් අදහස්

    February 11, 2010 at 10:34 am

  2. මීට පෙරත් ‘ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුනිද’ යන්න සාපේක්ෂ දෙයක්. හැබැයි ලාංකිකයා කියන මනුස්සයා ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස කියන දේ ගැන තේර්ම් අරන් තියෙනවද කියන එක පැහැදිලි ගැටළුවක්. තමන්ගේ පුද්ගල රුචිකත්වයට හා මතවාද වලට අනුකූල වන තරමට තමයි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කියන දේ අර්ථ දක්ව ගන්නේ. ජවිපෙ දේශපාලනය තුල මේ අවුල පැහැදිලිව දකින්න තියෙනවා කියල තමයි මට හිතෙන්නේ.

    තර්කයක් නැහැ. අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කෑ මොරදෙන බොහෝ දෙනෙකුගේ අතීත කෙරුවාව ගැන පැහැදිලි ගැටළුවක් තියෙනවා. ඒවා එහෙමම තිබියදී පවා, දැන් මේ මොහොතේ සිදුවෙමින් තියෙන දේ ගැන, ප්‍රජාතාත්ත්‍රික අයිතීන් පිලිබඳව ජනතාව බලමුළු ගැන්වීම සාධනීය දෙයක්. මට හිතෙන්නේ.

    ෆොන්සේකා සහ ඔහුගේ දේශපාලනය සම්බන්ධයෙන් පැහැදිලි විවේචනයක් තිබුනත්, මේ සිද්ධ වෙන දේවල් වලට ආන්ඩුවේ මැදිහත්වීම් වලට එරෙහි වීමට එය බාධාවක් නැතිවා මෙන්ම, අද ෆොන්සේකාට සිදුවූ දේට එරෙහිව පෙනී සිටිය යුත්තේ හුදෙක් ෆොන්සේකා වෙනුවෙන් නොව අනාගතය වෙනුවෙන් සහ සකලවිධ සමාජ අසාධාරණයන්ට එරෙහිව. එසේම මේ සමාජය තුල අතනින් මෙතැනින් හෝ ඉතුරුව තිබූ ප්‍රජාතාන්ත්‍රික හැසිරීම් ටිකත් විනාශ වීමට ඉඩ නොදීම වෙනුවෙන්. රාජාන්ඩුවකට, ඒකාධිපති රජයකට එරෙහිව ප්‍රජාතාන්ත්‍රික අයිතීන් වෙනුවෙන්.

    මම හිතන්නේ, අපි අනෝමාගේ කදුළු වෙනුවෙනුත් දුක් විය යුතුයි. මට අනුව ඒ කදුළු වලිනුත් මීට කිසිසේත් සමකල නොහැකි ලාංකීය ඛේදවාකයන්ට අසුවූ මිනිසුන්ගේ කදුළු ද යම් තරමකින් නියෝජනය වෙනවා. ඒ මේ සියල්ලම මේ ක්‍රමය තුලම ගොදුරු නිසා.
    අනික, උන්ගේ සදාචාරය සහ අපේ සදාචරය යනු දෙකක් නිසා.

    කසුන් |

    February 11, 2010 at 11:03 am

  3. ඔබේ අදහස් සමග සම්පූර්ණයෙන් එකඟ වෙමි. ප්‍රජාතන්ත්‍රවාදයක් කවදද මේ රටේ තිබුණෙ. ඒත් මෙහෙමවත් සිංහල මිනිසෙකුට රජයක් කරන කෙණහිලිකම් වෙනුවෙන් හෝ කවදාවත් එකතු නොවුන මොවුන් එකතුවී විරෝධය පෑම යහපත් ලක්ෂණයකි. ඕනෑවටත් වඩා බෙදී සිටීම නිසා බොහෝ දේවල් අහිමිවී ගොස් ඇත්තේ කාටත් නොදැනෙන පරිදිය.

    Poorna

    February 11, 2010 at 4:23 pm

  4. ඔව්. එක් අතකින් අනෝමාගේ කඳුලු මේ ක්‍රමය තුල දැඩි ලෙස වරද්දා ගත් අය නියෝජනය කරනවා. නමුත් යම් අයුරකින් මේ ලබාගන්නවාය කියන ප්‍රජාතන්ත්‍රවාදය ලබා ගත් පසුවත් ඔය කඳුලු එම නියෝජනයම පවත්වා ගනී ද?

    පවතින අගයන් යටතේ කෙසේ හෝ බලය ලබා ගන්නා අය නිවැරදි වෙනවා. ඒ අයුරින් සරත්ට වාරය ලබා ගත් පසුත් පීඩාවට පත්වෙන දැනුත් පීඩාවට පත්වෙන කොට්ඨාශය කවුරු විසින් නියෝජනය කරයි ද?

    මේ නැග එන රැල්ල සැබෑ එක් වීමක් හෝ මෙතෙක් කල් සිදුවෙමින් පැවතුන අසාධාරණ කම් වලට එරෙහිව සාධනීය ලෙස මතු වෙන බලවේගයක් ලෙස ගන්න බැහැ.

    නමුත් ජනතාව තුල මේ ක්‍රමය පිළිබඳ අවබෝධයත් පිලිකුලත් යම් පමණකින් ඇති කරන්න මේ අවස්ථාව යොදාගන්න පුලුවන්.

    ත්‍රස්තවාදියා

    February 11, 2010 at 8:38 pm

    • සම්පුර්ණයෙන්ම එකඟයි!

      ඇත්තටම අපේ අය ගණිත කුළක ක්‍රමයට අනුව ප්‍රජාත්න්ත්‍රවාදය වෙනුවෙන් කතා කිරිම නිසායි නිකංම පිචං වෙලා තියෙන්නේ. තමන්ගේ අහවල් පක්ෂය හෝ පුද්ගලයා හරහා හෝ විරුද්ධමතවාදී කෙනාට එරෙහිව ඇඟිල්ල දිඟු කරමින් මේක ගැන කතා කිරිම විසිළුවක්. පොදු කුළකයක් තුළින් කතා කරන්නේ සුළු දෙනයි.

      1505ට පෙර ප්‍රජාන්තවාදය තිබුණායැයි දොඩවන ඇතැම් අය මහාවංශයේ නො කිව්වත් එදත් අපේ රටේ ඒක ඒක කාලයට ප්‍රජාන්තවාදී ලක්ෂණ නැති වී තිබුණි, කෙසේ වුණත් එය රජ කාලේ ලක්ෂණයක්.

      ඉන් 1505ට පසු කාලයේදී යටත් විජීත කාලවල දැකිය හැකි ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීම වුණ අතර නාමිකව ජ්‍රජාන්ත්‍රවාදය අදාල වුණේ 1948 පසුව වුණේ ප්‍රජාන්තවාදය පියවරකින් ගොඩ නැගෙනවිට තව පැත්තකින් පියවර දෙකක් පසුපසට දමන ඒකයි අපි කලේ.

      ~බිன்ku~

      February 12, 2010 at 12:02 am

    • පැහැදිලිවම මේ නැගඑන රුල්ල නියෝජනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් සෑබෑ උවමනාවකින් නොවන බව මාත් පිළිගන්නවා. නමත් එවැනි විවේචනයක් ‍සහිතවම වුවද මේ සිදුවෙමින් පවතින දේට එරෙහිව පුලුල් විරෝධතාවකට සහයෝගය දීම වැදගත්.

      මේ විරෝධතාව හුදෙක් නැවතත් ඊනියා වීරයෙකු වටා පෙළගැසීමක් හෝ ගැලවුම්කරුවෙකු වෙනුවෙන් විරෝධතා දැක්වීමක් විදියට එලියට ඒම සිදුවෙන්න බැරි නැහැ. පේන හැටියට වෙන්නෙත් ඒක. මොකද ලංකාවේ බහුතර ජනයාට ප්‍රජාතන්ත්‍රවාදය හෝ සමාජ සාධාරණය ගැන හැඟීමක් නැහැ. විප්ලවකාරී පක්ෂයක් ලෙස සැලකෙන ජනතා විමුක්ති පෙරමුණ පවා ජනයාට මේ අවබෝධය ලබාදීමට උත්සහ කරනවා වෙනුවට සරල විරෝධතා හරහා සමාජය සංවිධානය කරනවා.

      ඒත්, ආරම්භයක් විදියට ක්‍රමය ඔහේ පිළිගන්නවා වෙනුවට වෙන දේට විරෝධය පලකරන තැනකට හෝ මේ සමාජය-දකුණ පැමිණීම සාධනීය දෙයක් නේද.
      -
      අනෝමා මේ වෙලාවෙ අඬන්නේ සමාජය වෙනුවෙන් නෙමෙයි තමන් වෙනුවෙන් ඒ ගැන තර්කයක් නැහැ,

      කසුන් |

      February 12, 2010 at 12:11 pm

  5. න්‍යායික තර්ක ඇතුලෙ අනවශ්‍ය විදිහට හිර වෙන්න ගියොත් ප්‍රායෝගික සත්‍යය අපි අතින් ගිලිහෙනවා.ෆොන්සේකා සාධකය පිලිබද විවේචනාත්මක වුන ක්‍රම විරෝදී පදනමක් සහිත විවේචන වල ඇති එක ගැටලුවක් නම් අනවශ්‍ය ලෙස න්‍යාය වාදී වීම හා එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රායෝගික සත්‍යය අතහැරීමයි.
    ෆොන්සේකාට ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය ගැන හැගීමක් තියෙනවද?
    එජාපය මේ විරෝධතා වලට එන්නෙ බොක්කෙන්මද?
    මේ වගේ පුද්ගලික කරුනු මතම නොයැපී දේශපාලන කාරනා පෙල ගැහිල තියෙන සන්දර්භය තේරුම් ගැනිමයි වැදගත් වෙන්නෙ.දේශපාලනික කාරනා පෙල ගැහිල තියෙන ආකාරය අනුව මේ කාට කාටත් අවම ප්‍රතිසංස්කරන ප්‍රමානයක් වෙනුවෙන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පෙනී ඉන්න බල කෙරිල තියෙනවා.ඒ ප්‍රතිසංස්කරන සදහා පෙනී සිටිම අත හැරියොත් මේ අයට පැවැත්මක් පවතින සන්දර්භය තුල නැහැ.
    උදාහරනයක් විදිහට 70දි බලයට එන අයියන්දේ චිලි වල සමාජ ප්‍රතිසංස්කරන කලේ “බොක්කෙන්මද”?අයියන්දෙගෙ බූර්ෂුවා පවුල් පසුබිම,එයාගේ අතීත භාවිතාව වගේ දේවල් උඩ මේ ගැන සැක පහල කරමින් ඉන්න තිබුනා.ඒත් වැදගත් වුනේ ඒ නිශ්චිත මොහොතේ චිලි වල ගොඩනැගිල තිබුන දේශපාලන වාතාවරනයට සාපේක්ෂව අයියන්දෙ සමග එක්සත් වැඩකිරීමකට යාම.
    පරම පිරිසිදු චේතනා වලින් දේශපාලනය කරන්නන් සමග පමනක් දේශපාලනය කරන්න සිතාගෙන සිටීම අන්තිම අදේශපාලනික බවයි මගේ අදහස.එවැනි “රැඩිකල්” දේශපාලනයකට පත පොත අතර මිස භූමියේ පැවැත්මක් නැහැ.ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය වගේ එකක් උදාහරනයකට ගන්න.
    ෆොන්සේකා ගැන විවේචන තබාගනිමින් විවේචනාත්මකව අරගලකාරි සන්ධානයකට මහන්සි ගැනීමයි වඩා වැදගත් වෙන්නෙ.මොකද ලංකාවේ -අවම වශයෙන් 94න් පසුව හෝ – තිබුන ප්‍රජාතන්ත්‍රවාදයේ සෙවනැල්ල පවා අභියෝගයට ලක්වෙලා කියන එක තවදුරටත් හිතලුවක් නොවන නිසා.දෙවනුව (අප කැමතිවුනත් නැතත්) පවතින පාලනයේ අධිපතිවාදයට එරෙහි විපාක්ෂික බලවේග වල සටන්කාමී නායකයා බවට පත්වෙමින් සිටින්නේ ෆොන්සේකා.මේ ප්‍රායෝගික සත්‍යයන් අමතක කරල පරමාදර්ශවාදී දේශපාලනයක් කරන්න මහපොලොව මත බැහැ.
    අනෙක මහජන අරගල බිහිවෙන්නෙ අපි හිතාගෙන ඉන්න “ලොකු” සංකල්ප උච්චාරනය කරමින් නෙමෙයි.රුසියන් විප්ලවය වගේ ඓතිහාසික ( දැනට ලංකාවෙ වෙන දේට රුසියන් විප්ලවය වගේ එකකට අලගු තැබීමටවත් බැහැ) ක්‍රියාවලියක ආරම්භක සටන් පාඨය වුනේ සාමය ඉඩම් හා ආහාර කියන සරල වචන තුන කියන එක අමතක කරන්න බැහැ.ඒත් ඒ සරලත්වය ඇතුලෙ විශාල දේශපාලන ඇත්තක් තියෙනවා.

    ramachandra

    February 14, 2010 at 1:32 am

    • //පරම පිරිසිදු චේතනා වලින් දේශපාලනය කරන්නන් සමග පමනක් දේශපාලනය කරන්න සිතාගෙන සිටීම අන්තිම අදේශපාලනික බවයි මගේ අදහස.//

      //ෆොන්සේකා ගැන විවේචන තබාගනිමින් විවේචනාත්මකව අරගලකාරි සන්ධානයකට මහන්සි ගැනීමයි වඩා වැදගත් වෙන්නෙ.//

      එකඟයි. මෙම සටහන පාදක වී තිබෙන්නේත් මෙම පදනම් මතයි.

      අද නැගී ගෙන එන රැල්ල තුල විහිදෙන සටන් පාඨ ඕනෑවටත් වඩා පරමාදර්ශී වෙන්න ගිහින් තියෙනවා. සරත් ආදරණීය තාත්තෙක්, ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙක් වෙලා. ඔහුත් වැරදීම් සිදු කල හැකි අසම්පූර්ණ පාලකයෙකු විය හැකි බව මේ විරෝධය මෙහෙයවන්නන් අමතක කර හෝ හංගාගනිමින් සිටිනවා. එක් අතකින් ඒ රටින් 40%ක් රැවටීමක්. නැවතත් විෂම චක්‍රයක ආරම්භයක්.

      සරත් කවුද යන්නත් ඔහුගෙන් සිදුවිය යුතු කාර්යයන් ගැනත් මනා ලෙස තේරුම් නොගෙන අයාලේ යන විරෝධතා දැක්වීමෙන් ඇති ඵලයක් තිබේද? පාලකයින් කරන්නේත් ඡන්දදායකයින් රැවටීමක්. විරෝධතාකරුවන් කරන්නේත් ඔවුන් රැවටීමක්. වෙනසක් බලාපොරොත්තු විය හැකි ද?

      ත්‍රස්තවාදියා

      February 15, 2010 at 7:44 pm

  6. අපේ රටේ විවිධ කාල වල විවිධ මට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි සිදුවීම් සිදුවුණා. මං දකින විදිහට මේ ආණ්ඩුවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්නේ නෑ. ඒත් ඔවුන් ඔවුන්ගේ පැවැත්මට අවශ්‍යම කාරණා ටිකේ දි ප්‍රජාතන්ත්‍රවාදය අමතක කරලා අනිත් තැන් වලදී ඒ ගැන පාරම් බානවා කියලයි මට හිතෙන්නේ. පරණ ආණ්ඩු වල ප්‍රජාතන්ත්‍රවාදය නොතිබුණයි කියන එක මේ ආණ්ඩුවට ඒක අහෝසි කරන්න දීපු ටිකට් එකක් නෙවෙයි!.

    දෙමළ ළමයි මරන්න අණ දුන්නේ සරත්. හැබැයි යුද්ධය කරන්න අණ දුන්නේ මහ රජාණෝ! නැත්නම් සංවේදී නායකයා. එහෙමද?

    මට නම් අනෝමා ගෙ කඳුළුත් කඳුළුමයි!

    Chathura

    February 17, 2010 at 11:54 am


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.