Posts Tagged ‘කොටි’
මහින්ද වෙනුවට සරත් ඉල්ලන කෝලම

(කසිප්පු ගංජා චක්‍රවර්තීට අනුව) සත්වන මහින්දෝත්තමයාණන්ගේ අග සෙනවි දැන් රජාණන්ට එරෙහිව සටනට පැමිණ ඇත. එතෙක් පාලකයින්ට හා (කොහේදෝ ඇති කර ගත් මුග්ධ තීරණයක් නිසා) සාමාන්‍ය ජනතාවට හිසරදයක්ව තිබූ කොටි සංවිධානය සමූලඝාතනය කිරීම තමාගේ තනි අයිතියක් බවට පත් කර ගැනීමට දැන් දෙපැත්තම පොර කමින් සිටිති. පෙර පරිදිම නරා වලේ නටමින් රටම උන්මාදයකට තල්ලු කරමින් සිටිති. මේ සියල්ල අතර එකිනෙකාගේ රෙදි ගැලවීමට ගොස් තම තමන්ගේ යට ඇඳුම් පවා අහිමි කර ගනිමින් සිටිති.
යුද්ධයේ අවසාන ප්‍රථිපලය සාධනීය බව සැකයක් නොමැත. වර්ගවාදයම තම මූලික දර්ශනය කොටගත් පිරිසක්, බහුතර සිංහල පාලකයින්ගේ අමන පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමට උපකාර කරමින් සිටීම එතෙක් කාලයක් සිදු වූ දෙයයි. ජනතාවට සැමදා යුද්ධයේ රඟ පෙන්වමින්, කාලයෙන් කාලයට දුප්පත් කොල්ලන් කෙල්ලන් මරු පල්ලට යවමින් විකාර රූපී වීර නාටකයක් ජනයා ඉදිරියේ රඟ දැක්වීමට උපකාර කල ප්‍රධාන සාධකය කොටි සංවිධානයයි. මහින්ද පෙර පාලකයින්ගෙන් වෙන් වුයේ යුද්ධය නැමැති ආයුදය භාවිතා කල ආකාරයට මිස, සෙසු ජනයාගේ දියුණුව පිළිබඳ දැරූ ආකල්ප නිසා නොවේ. අන් සියළු දේ අතහැර යුද්ධය පමණක් තම ජීවිතය කර ගත් රටක එය නිවාලීමෙන් ජනප්‍රිය වීමේ ඉඩ ප්‍රස්ථාව දක්ෂ ලෙස ප්‍රයෝජනයට ගැනීමට මහින්ද සමත් විය.
මෙම ක්‍රියාදාමයේදී රටේ ඉදිරි පැවැත්ම පිළිබඳ ඇති කර තිබෙන ආකල්ප ඉතාමත් හානිකර ය.
- දෙමළා සමඟ සමගියක් ගැන එලිපිට කතා කලත් සිත තුල ඔවුන් මහ ජාතියට යටත් විය යුතු ය යන්න තරයේ බහුතරයක් විශ්වාස කරති.
- බෞද්ධාගම මතම රාජ්‍යයක් පැවතියි යුතු බව බහුතර මතයක් බවට පත් කර ඇත.
- අන්තර්ජාතිකව කුමණ්ත්‍රණ තියරි (අනෙකා) නිර්මාණය කර, රටේ ඇති සියළු ගැටළු වලට මූලය ලෙස එම අනෙකා භාවිතා කිරීමට හුරු කර ඇත.
- දූෂණය හා වංචාව සාධාරණීකරණය කිරීමට තරම් උද්ධච්ච නිර්භීත කමකට අද පාලකයින් පැමිණ ඇත.
- පාතාලයින් යැයි හඳුන්වා දෙනු ලබන පුද්ගලයින් නඩු විභාග වලින් තොරව මහමග මරා දැමීම සාධාරණීකරණය කර ඇත.
- පීඩිත කුමන හෝ ජන කොට්ඨාශයක් වෙනුවෙන් කතා කලහොත් දේශද්‍රොහියෙකු බවට ඉබේම පත්වන තැනට කටයුතු සලසා ඇත.
- එම දේශද්‍රෝහීන්ට ඉහත සඳහන් පාතාල සාමාජික තත්වය පවරා ඒ ආකාරයෙන්ම මහමග මරා දැමීම සාධාරණීකරණය වී හමාරය.

මෙම කරුණු කාරණා සිදුවන විට මීට විරුද්ධ වූවෝද බොහෝ සෙයින් වූ නමුත් පීඩනයේ එක් එක් ආකාර වලින් එම විරෝධතා යටපත් කර දැමීමට පාලකයින් සමත් වී තිබිණ. දැන් ජනාධිපතිවරණය අත ළඟට පැමිණ ඇත. පෙර තිබූ විරෝධයද පාලයෙන් තොරව උත්සන්න වී ඇත. නමුත් මෙම විරෝධයේ ප්‍රධානියා කවුද?
හිටපු ජෙනරාල් වරයෙකු වන, කොටි සමූලඝාතනයේ යුධමය අංශය මෙහෙයවූ, සරත් ෆොන්සේකා මෙම විරෝධය මෙහෙයවමින් සිටී. මෙතෙක් කල් මහින්දගේ නුගුණ පෙන්වූ අය දැන් ජෙනරාල් එම සියළු දේට විසඳුම ලෙස පෙන්වා දෙති.
අප හට තේරුම් ගත නොහැක්කේ මෙයයි. මෙතෙක් කල් මහින්ද සමග එකම බෝට්ටුවේ සිටි අයෙකු දුෂණ වංචා නැති කරන්නේ කෙසේද? යුද්ධයේදී දෙමළ ජනයා පිළිබඳ අබ ඇටයකුදු නොතැකූ අයෙක් ජාතික සමගිය ඇති කරවන්‍නේ කෙසේද? ශ්‍රී ලංකාව වැනි රටක ජෙනරාල්වරයෙකු නිදහස් නිවහල් රාජ්‍යයක් ලබා දෙන්නේ කෙසේද? ලක්ෂ ගණනක පිරිසකට විරෝධයකින් තොර වූ අණ ලබාදී පුරුදු අයෙකු අන්මත ඉවසන ප්‍රජාතාන්ත්‍රික නායකයෙකු වේ යැයි බලාපොරොත්තු විය හැකි ද? විධායක බලතල ඔහු අත හරී යයි හිරිකිතයක් නොමැති බලාපොරොත්තු විය හැකි ද?
අපේ මෙම සටහනේ අරමුණ මහින්ද වෙනුවෙන් ඡන්දය ලබා දීම සාධාරණීකරණයක් නොවේ. අප ඉතාමත් කැමැත්තෙන් සිටින්නේ මහින්ද හකුලා ගෙන ගෙදර යන දිනය පැමිණෙන තෙක්ය. එනමුත් යුද්ධය හමාර වූ පමණින් සියළු ගැටළු නොවිසදෙන්නාක් මෙන් මහින්ද ගෙදර ගිය පළියටම රටේ ගැටළු විසදෙන්නේ නැත. දූෂණය හා වංචාව පිටු දැකීමේ ඉක්මන් ක්‍රමයක් ලෙස අප දකින එකම දේ අධ්‍යාපනය ගුණාත්මක කිරීම මගින් බිහි කරනා උගතුන් රටේ පාලනය සඳහා යොමු කිරීම පමණකි. එයද දිගු කාලීන ප්‍රයත්නයක් ලෙස ගිණිය නොහැක්කේ රට තුල පවතින අසමතුලිත බව හා මධ්‍යගත බලතල වල ඇති දූෂක ලක්ෂණ නිසාය. ජාතික සමගිය සරත්ගෙන් බලාපොරොත්තු විය නොහැක. එය පැමිණිය යුත්තේ බුද්ධිමත් ජනතාවක් තුලින් පමණි.
සරත් බලයට පත් කිරීම සඳහා ඉදිරිපත් කල හැකි එකම සාධකය වන්නේ සුළුවෙන් හෝ තිබෙන්නා වූ දේශපාලන සාධාරණත්වය පවත්වා ගැනීමටය. රට පුරා රාජපක්ෂ පවුලෙන් අල්ලා ගෙන යන මහා සැලසුම කණපිට පෙරළිමට පමණි. රටේ සියළු සම්පත් හා සේවා එක් රදළ පරම්පරාවක් අතට පත් වීම නැවැත්වීමට පමණකි. ඉන් එහාට සරත්ගෙන් අප බලාපොරොත්තු විය යුතු දෙයක් නොමැත.
මෙතෙක් කල් තිබු ප්‍රධාන අඩුපාඩුවක් වන ශක්තිමත් විපක්ෂයක් දැන් ගොඩ නැගී ඇත. සරත් ජයග්‍රහණය කලහොත් ඉන් පසුද විපක්ෂය ශක්තිමත්ව තිබේ යැයි අනුමාන කල හැක. එය දැන් අප හමුවේ තිබෙන ප්‍රධානතම ගැටළුවයි. එය නැවත සාමාන්‍යයට පැමිණි පසු අපට සුදුසු නායකයෙකු සෙවීම අප ආරම්භ කල යුතුය. ඒ අනිවාර්යයෙන්ම සරත් එම නායකයා නොවන බැවිනි.
ඉහත සඳහන් කර ඇති ආකල්ප නිරාකරණය කිරීම රටේ දියුණුවට අත්‍යවශ්‍ය කරුණකි. ඒ අප තෝරා පත් කර ගන්නා පාලකයින් හා අප අනුමත කරන ප්‍රතිපත්ති එම ආකල්ප මත රඳා පවතින බැවිනි. මහින්ද හෝ සරත් එම කර්තව්‍යය කිරීමට සුදුසු පුද්ගලයින් නොවේ. ඒ ඔවුන් දෙදෙනාම වැජඹෙන්නේ එම ආකල්ප මත නිසාය.
මේ සටහන යොමු කලේ මහින්දගේ පාලනය යටතේ තිබූ සියළු දුර්ගුණ දුරලීමට සරත් පත් කර ගන්න යැයි ඉල්ලා සිටින අමන රැල හා සරත් හෝ මහින්ද අප හට සශ්‍රීකත්වය ලඟා කර දෙන තෙක් කට ඇර බලා සිටින පුත්තලම් බූරු රැල වෙතටයි. සරත් දිනවිය යුතු බව සත්‍යය. නමුත් ඒ කුමක් සඳහාද යන්න අවබෝධ කර ගත යුතුය.