Posts Tagged ‘Feminism’
පුරුෂයා සහ වහලිය
ඉතිහාසය පුරා ඉතා වෙහෙස මහන්සි වී රැක ගන්නා ලද පුරුෂාධිපත්‍යයට එරෙහිව නව ආර්ථිකමය පරාමිතීන් යටතේ නැගෙන ඊනියා ස්ත්‍රී විමුක්තිකාමී රැල්ල මැඩගෙන නැගී සිටීමට දුක්ඛිත ප්‍රයත්නයක් නූතන පුරුෂයින් විසින් දරනු ලැබේ. ගැහැණුන් ඇඳුම් ඇඳිය යුත්තේ දනිස්සේ කුමන ස්ථානයක වෙත ද, ක්ලීවේජය කෙතරම් දුර යා යුතු ද, යන්නෙන් නොනැවතී (පසුගිය දවසක බ්ලොග්කරුවෙකු විසින් කල පරිදි) ස්ත්‍රියක් ඇඳිය යුත්තේ කුමන යට ඇඳුම් වර්ග ද යන්නත් අර්ථ දැක්වීමට ද ඉදිරිපත් වීම නොයෙකුත් සමාජ පසුබිම් වල සමානවම දැකිය හැක.
බස් රියේදී හිර කලිසමක් ඇඟලා ගෙන ඇති කාන්තාවක් දුටු විට රාගාධික ඇස් ඇඟ පුරා යවනා පුරුෂයෝ ඉන්පසු ඇය දෙස අත් දිගු කර ඇය කෙතරම් අශීලාචාර දැයි සාකච්ඡා කරති. පන්සලට පැමිණෙන මිනිසුන්ගේ ප්‍රමාණය අඩු වන විට පොඩි ජාතියේ පබ්ලිසිටි ස්ටන්ට් එකක් කිරීමට ඉදිරිපත් වන ලොකු හාමුදුරුවන්ලා ආදරණීය දුවාලා පුතාලන්ට ළමා සාරි වල අගය කියා දෙති. ලිප්සිටික් තහනම් කරති. දවස පුරා අසභ්‍ය වෙබ් අඩවි මගින් ස්ත්‍රී ශරීරයට ඇති ආසාව සංසිඳවා ගන්නා අය බ්ලොග් අඩවි තුලින් යට ඇඳුම් විකුණන කොම්පැණි කාරයින්ට ගුටි බැට දීමට ඉදිරිපත් වෙති. ඒකාධිපති වීමට දඟලන පුරුෂ සමාජය එක් ශරීරාංගයක් වත් නිරාවරණය නොවි ඇති ස්ත්‍රිය සමාජය තුල පරමාදර්ශී ගැහැණිය බවට පත් කිරීමට උත්සහ ගනිමින් සිටී.
අතීතය පුරාම ස්ත්‍රිය පව්කාර වූවාය. බෞද්ධ ගාඩියන්ලා මෙය ක්‍රිස්තියානියට පැටවීමට උත්සහ කලත් බොහෝ ආගම් තුල ඇය පුරුෂයාට වඩා පහත් මට්ටමක සිටියාය. පුරුෂයාගේ ඉළ ඇටයක් වූවාය. පුරුෂයා පවෙහි වෙළීමට හේතු කාරකයක් වූවාය. ස්ත්‍රී ආත්මයක් ලැබීමට වඩා පුරුෂාත්මයක් ලැබීමට පින් කල යුතු විය. ස්ත්‍රියකට බුදු වීමට නොහැකි විය. ඇගේ නුවණ හැඳි මිටට වඩා මහත් නොවීය.රටවල් අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීම සඳහා හුවමාර කර ගන්නා භාණ්ඩයක් විය. සාහිත්‍යධරයින් ඈ කපට, කුමන්ත්‍රණකාරී, චපල ගතිගුණ ඇත්තියක කර වූවෝය. ඈ කලෙක ඡන්ද වරම අහිමිව සිටියාය.
මෙම තත්වයන් යටතේ පුරුෂාධිපත්‍ය ඉමහත් ලාභ ප්‍රයෝජන අත් විඳි අතර තවමත් ඒවා විඳිමින් සිටී. අද ද තරුණයෙකුට, තරුණියෙකුට වඩා ඉහළට ඉගෙන ගැනීමට ආයෝජනය කිරීමට පවුල් සංස්ථාව සූදානම්ය. පුරුෂයා අදහස් දැක්වීමේදී වැඩි පිළිගැනීමක් අත් විඳී. විවාහයකදී බොහෝ අවස්ථා වලදී පුරුෂයා වැඩි තෝරා ගැනීමේ නිදහසක් අත් විඳී. ස්ත්‍රියකට තෝරා ගැනීමේ නිදහස අවමය. අධ්‍යාපනයේදී ස්ත්‍රිය වඩාත් දක්ෂ කට පාඩමට යැයි මතයක් ප්‍රචලිතව ඇත. මෙය ස්ත්‍රීන් විසින්ම බිඳ දැමීමට අලස මතයකි. දේශපාලනයේදී ස්ත්‍රී දායකත්වය අවධානයට හසු නොවේ. රෝසා ලක්සම්බර්ග්, ලෙනින් තරමට ජනප්‍රිය නැත්තේ එබැවිනි. වෙනකක් තබා කාන්තා විමුක්තිය යනු පුරුෂයා සිදු කරන සියළු දේ සිදු කිරීම යැයි අර්ථ දැක්වීම ද කලක දී සිදුවිය.
නව අර්ථ ක්‍රමයන් යටතේ නැගෙන ස්ත්‍රී විමුක්තිය සැබෑවක්දැයි අපි නොදනිමු. නමුත් එය නියත වශයෙන්ම පුරුෂ බැමි බිඳ හලා දමන්නේය. ස්ත්‍රිය ස්වයංතීරණ ගන්නා තත්වයකට උස් කර තබන්නේය. තව දුරටත් තවකෙකු යටතේ සිටීමට නොකැමැත්තක් ස්ත්‍රී සමාජය තුල ඇති කරන්නේය. සම්පූර්ණයෙන් නිදහස් වූ ස්ත්‍රියක් වෙත ළඟා වීමට මෙය කෙතරම් ඉවහල් වේ දැයි අප හට සැකයක් ඇත (සෑම දෙයක්ම විකිණිය හැකි තත්වයක් තුල විකාරරූපි ලෙස පැන නැගුණු එක් දෙයක් සාධනීය විය හැකි ද යන්න අපගේ සැකයට ලක්වේ). නමුත් පැවතුනු වහල් ක්‍රමයට වඩා මෙය සිය දහස් ගුණයකින් වටින්නේය.
ආපසු හැරී දුටුගැමුණු කාලයට දිව යෑමට දඟලනා ශ්‍රී ලාංකීය සමාජය තුල මෙම විමුක්ති රැල්ල කොතෙක් කල් පවතී දැයි සිතා ගත නොහැක. නිදහස් මතයක් දැරිය යුතු තරුණයින්ද විකාර අදහස් හිස් තුල ලා ගෙන සිටීම ධනාත්මක නොවේ. නව පරම්පරාව නව අදහස් නිපදවිය යුතු යුගයක අප රට තුල නව පරම්පරාව වැළලී ගිය හණමිටි අදහස් ගොඩ ගැනීමට උත්සහ දරති. සමස්ථ සමාජයක් ලෙස දියුණුව කරා යෑමට මෙම තත්වය ඉවහල් වේ ද යන්න අප මඳක් නැවතී සිතා බැලිය යුතු කාරණයකි.
